Saturday, May 24, 2025

General line - 0115112241

වැලිකඩ බන්ධනාගාරයේ හදිස්සියේ ආරම්භ කළ මෙහෙයුම



කොළඹ බන්ධනාගාර පරිශ්‍ර තුළ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. 

ඒ අනුව එය අද ආරම්භ වූ එම වැඩසටහන හෙට දිනයේද ක්‍රියාත්මක බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. වැලිකඩ, කාන්තා, කොළඹ රිමාන්ඩ්, මැගසින් බන්ධනාගාර මෙන්ම වැලිකඩ රෝහල ආශ්‍රිතව එම ඩෙංගු වැඩසටහන ක්‍රියාත්මකයි. 

බන්ධනාගාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ඩෙංගු මර්දන වැඩසටහන සදහා සිරකරුවන් 70 දෙනෙකු පමණ එක් කර ගෙන තිබෙනවා. 

ඒ සදහා වටරැක, පල්ලන්සේන එළිමහන් සහ වැලිකඩ බන්ධනාගාරවල රදවා සිටින තෝරාගත් සිරකරුවන් පිරිසක් එක් කර ගත් බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

සමාජයේ මේ වනවිට ව්‍යාප්ත වන වෛරස් උණ රෝගයද මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් අතරද ව්‍යාප්තවෙමින් පවතිනවා. 

ඒ අනුව මේ වනවිට එම බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසකට වෛරස් උණ වැලදී ඇති බවයි වාර්තා වුණේ. 

ඔවුන්ගෙන් කිහිප දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා. 

අනිත් පිරිස බන්ධනාගාර වාට්ටු තුළදී අවශ්‍ය ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.