ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළා.
එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන් වුණා.
ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කෙරුණා.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් විමර්ශන වලට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුට වැඩි දුරටත් නියෝග කළා.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර නීති අධ්‍යක්ෂිකා අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව ඉතා වැදගත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි.
ඉකුත් දිනවල මෙම පොහොර මිලදී ගැනීමේ කටයුතුවලට සම්බන්ධ කමිටුවේ ලේකම්වරයා ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද ඇය එහිදී සඳහන් කළා.
ඒ අනුව 2021 වසරේ සැප්තැම්බර් මස 15 වනදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති රැස්වීමේදී අදාල පොහොර නෞකාවට මුදල් ගෙවීමට අදාලව අත්හිටුවා තිබූ ණයවර ලිපි යලි විවෘත කරන ලෙස සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් පොහොර සමාගම්වල සභාපතිවරුන්ට බලපෑම් එල්ල කර තිබූ බව එම ලේකම්වරයාගේ ප්‍රකාශයෙන් තොරතුරු අනාවරණය වූ බවත් ඇය සඳහන් කළා.
ඒ අනුව ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරුන් විසින් අත්හිටුවා තිබූ ණයවර ලිපි යළි සැප්තැම්බර් මස 17 වන දා විවෘත කෙරුණේ එම බලපෑම හේතුවෙන් බවත් ඇය කියා සිටියා.
අමාත්‍යවරයාගෙන් මෙම බලපෑම එල්ල නොවුණා නම් අදාල ණයවර ලිපි යළි විවෘත නොකෙරුණු ඇති බව ලේකම්වරයා එම ප්‍රකාශයේ සඳහන් කළේ යැයිද අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂිකාව එහිදී ප්‍රකාශ කළා.
මෙම පොහොර මිලදී ගැනීමට අදාළව මෙරට පොහොර සමාගම් හා චීන සමාගම අතර ඇතිකරගත් ගිවිසුමේ 3 (3) දරන වගන්තිය මගින් සැපයුම්කාර චීන සමාගම විසින් සපයන පොහොරවල ජීවීන් සිටිය නොහැකි බවට කොන්දේසියක් ඇතුළත් කර තිබූ බවත් ඇය සඳහන් කළා.
එහෙත් 2021 වසරේ සැප්තැම්බර් මස 08 වනදා අදාළ පොහොර සාම්පල පරීක්ෂා කළ අතර එහි ශුද්‍ර ජීවීන් සිටින බවට ෂටර් ගෘප් නමැති ආයතනයක් විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.
පසුව ඒ පිළිබඳව යළි පරීක්ෂා කිරීම සඳහා පොහොර සාම්පල ශාක නිරෝධායන ආයතනය වෙත යොමු කර තිබූ අතර එහි වාර්තාව 2021 වසරේ සැප්තැම්බර් මස 27 වනදා ලැබීමට නියමිතව තිබුණා.
එම වාර්තාව ලැබීමට පෙර අමාත්‍යවරයාගේ බලපෑම් හා අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් මෙම ණයවර ලිපි විවෘත කර අදාළ මුදල් චීන සමාගම වෙත ගෙවීමට සිදුවූ බවත් ඒ තුළින් රටට රුපියල් කෝටි එකසිය තිහක පමණ මුදලක් අහිමි වූ බවත් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය පවසා සිටියා.
සැප්තැම්බර් මස 27 වනදා ශාක නිරෝධායන ආයතනයේ වාර්තාව ලැබෙන තුරු ඉවසා සිටියා නම් චීන සමාගම සමග ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව අදාල මුදල් නොගෙවා සිටීමට අවස්ථාව තිබූ බවයි ඇය පෙන්වා දුන්නේ.
ඒ අනුව මෙම විමර්ශනයට අදාළව ඉතා වැදගත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්ෂි ඉදිරියේදී සටහන් කර ගැනීමට නියමිත බවත් මෙම සැකකරු ඇපමත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව කරුණු දැක්වූ සැකකාර මහින්දානන්ද අලුත් ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවා දායකයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවට නොපැමිණි බවට චෝදනා කරමින් වරෙන්තු ලබාගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තම සේවා දායකයාගෙන් අල්ලස් කොමිසම මේ දක්වා ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවයි් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තම සේවා දායකයාට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනයට හිමිකම් ඇති බවත් සාධාරණ විමර්ශනයක් මෙන්ම සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට ඔහුට නීතිමය අයිතියක් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප නියම කරන ලෙස ඉල්ලා ඔහු මෙම අධිකරණයට අපේක්ෂිත ඇප පෙත්සමක් ඉදිරිපත් කළේ ඒ අනුව බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.
සිය සේවාදායකයා කිසි දිනක අධිකරණය මගහැර යන පුද්ගලයකු නොවන අතර කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
තම සේවාදායකයා මේ වන විට දේශපාලන බලය අහිමි සාමාන්‍ය පුද්ගලයෙකු වන අතර ඔහුට කිසිදු පුද්ගලයෙකුට බලපෑම් කිරීමට හැකියාවක් නොමැති බවත් චීන සමාගම සඳහා අදාළ මුදල් ගෙවනු ලැබුවේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවයට අනුව අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ඇමති මණ්ඩලයේ තීරණයකට අනුව බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.
මෙම ණයවර ලිපිය විවෘත කිරීමේ ක්‍රියාවලියට තම සේවා දායකයා කිසිසේත්ම සම්බන්ධ වී නොමැති බවත් ඔහුට එරෙහිව පොහොර කමිටුවේ සාමාජිකයින් විසින් ලබාදුන් බව කියන ප්‍රකාශ මත මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.
මෙම ගිවිසුමට අනුව චීන සමාගම වෙත අදාළ මුදල් ගෙවීමෙන් රජයට පාඩුවක් සිදු වී නොමැති අතර අදාළ ගිවිසුම යළිත් යාවත්කාලීන කිරීමට රජයට හැකියාව තිබෙන අතර එය රජය විසින් මෙතෙක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. ඉන් අනතුරුව පැමිණිල්ල ජූලි මස 11 වන දා යළි කැඳවීමට නියම වුණා.