Thursday, May 2, 2024

General line - 0115112241

නඩරාජා රවිරාජ් ඝාතන නඩුවෙන් බුද්ධි අංශ නිලධාරීන් තිදෙනෙකු ඇතුළු 5 දෙනෙකු නිදොස් කොට නිදහස්




යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද අලූයම නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මෙම නියෝගය නිකුත් කළේ නඩුව විභාග කිරීම සඳහා පත්කළ විශේෂ ජූරි සභාවේ ඒකමතික තීරණය සැලකිල්ලට ගනිමින්.

නඩුවේ සාක්ෂි විමර්ශනය කිරීමේදී විත්තිකරුවන් නිවැරදිකරුවන් ලෙසට වන නිගමනයකට ඒකමතිකව එළඹි බව සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවේ සභාපතිවරයා මහාධිකරණයේදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම නඩුවේ පළමු විත්තිකරු දැනට මියගොස් ඇති බැවින් මෙම තීන්දුව ඔහුට අදාළ නොවන බවයි ප්‍රකාශ කෙරුණේ. නඩුවේ පළමු සාක්ෂිකරු ලෙසට රජයේ සාක්ෂිකරුවෙකු වන ප්‍රීති විරාජ් මනම්පේරි නමැත්තා නම්කොට තිබූ අතර ඔහු ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරී කළ පුද්ගලයෙක්.

නඩුවේ විත්තිකරුවන් එම ඝාතනයට හවුල් වූ බවට  රජයේ සාක්ෂිකරු අධිකරණයේදී සාක්ෂි ලබා දී තිබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන චෝදනා 5ක් යටතේ චූදිතයින්ට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර තිබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඒ අතරින් නඩුවට පෙනී සිටියේ ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී සෙනෙවිරත්න සහ ප්‍රදීප් චාමින්ද නමැති තිදෙනා පමණයි. ඔවුන් නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරීන් වනවා.

සෙසු චූදිතයින් තිදෙනා වන පලගසාමි සුරේෂ්, සිවකාන්තන් විවේකානන්දන් සහ රොයිස්ටන් ටුසේන් නමැති විත්තිකරුවන් අධිකරණය මගහරිමින් සිටි අතර ඔවුන් නොමැතිව නඩු විභාගය සිදුකෙරුණා. එලෙස අධිකරණය මගහරිමින් සිටි විත්තිකරුවන් තිදෙනා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් වෙන් වූ කරුණා පාර්ශ්වයේ සාමාජිකයින් බවයි පැවසෙන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරා ඝාතනය කෙරුණේ 2006 වසරේ නොවැම්බර් මස 10වෙනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදීයි. මෙම නඩුව අධිකරණ නිවාඩු කාලසීමාව ද නොතකමින් අඛණ්ඩව විභාගයට ගැනුණා.