Friday, April 26, 2024

General line - 0115112241

දත් කැඩී මුහුණ තැලී ගල්කිස්සේ හෝටලයක සිටි 'අලුත විවාපත් ව්‍යාපාරිකයාගේ මරණ පරීක්ෂණයේ 'තොරතුරු මෙන්න 

අයිරංගි එදිරිසිංහ




මොහාන් චමින්ද විජේතිලක නම් වන අලුත විවාපත් ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධයෙන්  විවෘත තීන්දුවක් ලබාදීමට කළුබෝවිල අධිකරණ වෛද්‍ය නිලධාරී ටී. බී දසනායක අද (07) පියවර ගත්තා.

ඔහුගේ සිරුරේ කොටස් ඒ අනුව රස පරීක්ෂකවරයා වෙත යවා තිබෙනවා.


ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක් තුළ සිටියදී පසුගිය 31 වන දින ඔහු සිහිසුන්ව රෝහලට ඇතුළත් කර තිබුණා.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා ඔහු මරණයට පත්වුණා.

මොහාන් චමින්ද විජේතිලක  හෝටලයේ දී ගෙළ වැළලා ගැනීමට උත්සහ කර ඇති බවට සැකකෙරෙන පටියක්  ද හමුවූ බව පොලිසිය දැනුම්දී තිබෙනවා.  

රෝහල්ගත කර ඇති ඔහුගේ දත් කැඩී ගොස් ඇති අතර  මුහුණේ සැකසහිත තැලීම් ද දක්නට ලැබී ඇති බව මෙන්ම පැරසිටිමෝල් වැඩි සාන්ද්‍රණයක් සිරුරේ තිබී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂයේදී හෙළිවුණා.


පසුගිය මස 18 වන දින  විවාහවී ඇති ඔහු සිදුවීම වන දිනද බිරිඳ  සමග එහි සිට ඇති බවට වාර්තා වුවද එය අසත්‍ය බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

 nethnews.lk වෙත වාර්තා වුණේ අලුත විවාහ වී ඇති ඔහු  කළුබෝවිල සරණංකර ප්‍රදේශයේ ඔහුගේ නිවසට යන බව පවසමින් බිරිඳගෙන් වෙන්ව පැමිණ ඇති බවයි.

පසුව මිතුරකුගේ ත්‍රීරෝද රථයකින් අදාළ හෝටලයට පැමිණි ඔහු යළිත් නිවසට නොපැමිණීම නිසා අළුත විවාපත් බිරිඳ ඒ සම්බන්ධයෙන් එම ත්‍රීරෝද රථ මිතුරාට දැනුම් දී තිබෙනවා.

පසුව ඔහු සමග මෙම දෙදෙනාගේ ආදර සම්බන්ධයට උදව් කළ තවත් මිතුරකු හෝටලයට යනවිට 
ඇතුළතින් අගුළු දමා දොර වසා තිබූ අතර පසුව එම මිතුරන් දෙදෙනාට ඇතුළතට යන විට ඔහු  බිම වැටීසිටිනු  දැක තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මියගිය මොහාන් චමින්ද විජේතිලකගේ සිරුර කළුබෝවිල ප්‍රදේශයේ මල් ශාලාවක් වෙත ගෙන ගොස් ඇති අතර මිතුරන් අතර වඩාත් කැපී පෙනෙන චරිතයක් වූ  ඔහුගේ  හිතවතුන් රැසක් මේ වනවිට එම ස්ථානයට රැස්ව සිටිනවා.