Friday, April 26, 2024

General line - 0115112241

මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනය උස ගොඩනැගිල්ලක සිටි අයෙක් දැක්ක හැටි (UPDATE) (VIDEO)




මෙක්සිකෝවේ හටගත් ප‍්‍රබල භූ කම්පනයෙන් පසු මෙක්සිකෝ සිටි නගරයේ ජීවත් වන පුද්ගලයින් ලක්‍ෂ 20 කට පමණ විදුලි සැපයුම ඇනහිට තිබෙනවා.

මෙක්සිකෝ සිටි යනු ලෝකයේ වැඩිම ජනගහණයක් ජීවත් වන නගර අතරට අයත් නගරයක්.

එහි ජීවත් වන මුළු සංඛ්‍යාව මිලියන 20 කට අධිකයි. විදුලි පහසුකම් මෙන්ම දුරකතන පහසුකම්ද බිද වැටී ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.  

මෙම භූ කම්පනය හටගත්තේ, මීට පෙර 1985 මෙක්සිකෝ සිටි නගරයේම සිදුවූ දරුණු භූ කම්පනයේ 32 වන සැමරුම සඳහා පෙර පුහුණුවීම් සිදුකරමින් සිටි අවස්ථාවේදීයි. එම භූ කම්පනයෙන් ජිවිත අහිමි වූ සංඛ්‍යාව දස දහසකට අධික වනවා.

තවද ප‍්‍රබල භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා මේ වනවිටත් විශේෂ මෙහෙයුමක් සිදු කෙරෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඒ සඳහා සහන කණ්ඩායම් රැසක් එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙක්සිකෝ සිටි නගරයේ ස්ථාන 44 ක තිබූ ගොඩනැගිලි රැසක් දරුණු ලෙස විනාශ වී ඇති බවද එහි සදහන්.

පාසලක්ද කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ. එහි සුන්බුන් අතර ළමුන් පිරිසක් සිරවී සිටින බවටද විශ්වාස කෙරෙනවා. 

මේ අතර මෙම භූ කම්පනය සිදු වෙන අවස්ථාවේ පහළ ඇති වූ සිද්ධීන් උස ගොඩනැගිල්ලක සිටි අයෙක් වීඩියෝ කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් දැක්වෙයි.

 

-----------------------------

මෙක්සිකෝවට ප්‍රබල භූ කම්පනයක් - 100කට අධික පිරිසක් මරුට (VIDEO)

(20-09-2017 06:30)

මෙක්සිකෝවට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මධ්‍යම මෙක්සිකෝවට බලපා ඇති මෙම භූ කම්පනය හේතුවෙන් 100කට අධික පිරිසක් මිය යන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

උස ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති අතර සුන්බුන් අතර සිරවීමෙන් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

රික්ටර් මාපාංක ඒකක 7.1 ක් ලෙස මෙය සටහන්ව ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.