Friday, April 26, 2024

General line - 0115112241

උතුරේ පාසල් ලබන වසරේ සිට 8ට

දිනසේන රතුගමගේ - වවුනියාව




උතුරු පළාතේ රජයේ සියළුම පාසල් 2018 වර්ෂයේ සිට උදෑසන 8 ට ආරම්භ කිරීම කෙරෙහි උතුරු පළාත් සභාවේ අවධානය යොමු වී තිබෙනවා.

උතුරු පළාත් සභාවේ මෙවර අයවැයෙන් පසුව මන්ත්‍රීවරුන් කීප දෙනෙකුම උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සරවේස්වරන්ට පෙන්වා දී ඇත්තේ උතුරු පළාතේ පාසල් උදෑසන 7.30 ට ආරම්භ කිරීම නිසා ගුරුවරුන් හා සිසුන් අනපේක්ෂිත කරදර රැසකට මුහුණ දෙන බවයි.

විශේෂයෙන්ම උතුරු පළාතේ ගම්බද ප්‍රදේශවල සිට නගරයේ පාසල්වලට පැමිණීමට ප්‍රමාණවත් ගමනාගමන පහසුකම් නොමැති බවත්,උදෑසන 7.30 ට පාසල් ආරම්භ වන විට සිසුන්ගෙන් විශාල පිරිසක් උදෑසන ආහාරය නොගෙන පාසලට පැමිණීම නිසා අධ්‍යයන කටයුතු විධිමත්ව කරගෙන යාමට නොහැකි බව ගුරුවරුන් විසින් නිතර නිතර දැනුම් දීමත් නිසා උතුරේ පාසල් ආරම්භ කිරීම උදෑසන 8 දක්වා කල් දමන මෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මෙම ඉල්ලීම ප්‍රධාන අමාත්‍යවරයා වෙත යොමු වූ අවස්ථාවේදී ඒ සඳහා පළාත් ආණ්ඩුකාරවරයාගෙන්ද අනුමැතිය ලබාගෙන සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ලබන වර්ෂයේ පාසල් ආරම්භ වීමට පෙර මේ පිළිබඳව තීරණය දැනුම්දෙන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කල උතුරු පළාත් සභාවේ පිරිසට දන්වා තිබෙනවා.