Wednesday, May 8, 2024

General line - 0115112241

විහාරස්ථානයක කුටියක් ගිනි ගනී - ප්‍රදේශවාසීන් දුටු දේ පිළිබඳ පොලිස් පරීක්ෂණ අරඹයි (PHOTOS)

සමන් විජය බණ්ඩාර




අරණායක ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාංශයේ පිහිටා ඇති තල්ගස්පිටිය දෙණියතැන්න පුරාණ රජ මහ විහාරස්ථානයේ අවාස ගෙය අද (03) පෙරවරුවේ ගිනිගෙන තිබෙනවා.

එම ආවාස ගෙයි කාමරයක් සම්පුර්ණයෙන් ගිනි ගෙන එහි තිබු අටපිරිකර සහ සිවුරු පොත්පත් යනආදිය රැසක් ගින්නෙන් විනාශ වි ගොස් තිබෙනවා. 

මෙම ගින්න හට ගෙන ඇත්තේ විහාරාධිපති හිමියන් වන ශාස්ත‍්‍රපති නුවරගල නාලක ස්වාමීන් වහන්සේ සිය රාජකාරි කටයුතු සිදු කරන පාසල වෙත සහ විහාරස්ථානයේ වැඩ වාසය කරන සෙසු ස්වාමින් වහන්සේලා පිරිවෙන් අධ්‍යානය සඳහා පිටත්ව යෑමෙන් පසුවයි. 

වසා තිබු ආවාස ගෙයින් එකවර දුමාරයක් අහසට නැගෙන අයුරු එම ආවාසකුටිය පිහිටි ස්ථානයට මඳක් නුදුරින් සිටි අයෙකු දැක ඇති අතර පසුව ඔහු පන්සලේ ඝාණ්ඨාරය නාද කර ප්‍රදේශවාසීන් රැස්කර ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ වන විටත් ආවාස ගෙයි එක් කුටියකට ගින්නෙන් දැඩි හානි වී තිබෙනවා.

මෙම සිද්ධිය උදෑසන 10.00 ත් 11.00 අතර කාලයේ සිදු වන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය විසින් පරික්ෂණ සිදු කරන අතර පොලිසිය පැවසූයේ විහාරස්ථානයේ කුඩා සාමනේර හිමිනම විසින් රතිඤ්ඤා පත්තු කිරිමට හදුන්කූරක් රැගෙන ගිය බවටද ප‍්‍රදේශයේ කිහිප දෙනෙකු දැක ඇති බවයි.

උන්වහන්සේ විසින් එය කාමරය තුල දමා ගොස් ගින්න හට ගත්තාද නැතිනම් විදුලි කාන්දුවක් නිසා ගින්න හට ගත්තාද යන්න පිළිබඳ මේ වන විට පරික්ෂණ සිදු කරමින් පවතින බවද පොලිසිය පවසනවා.

සිද්ධීයෙන් ආවාස කුටියේ එම කාමරයේ පොත් පත් මෙන්ම අටපිරිකර සිවුරු සහ වෙනත් භාණ්ඩ කිහිපයක් මෙන්ම ලී බඩු සහ වහලයට ද හානි සිදු වි තිබෙනවා.