Thursday, May 2, 2024

General line - 0115112241

ජුලි 15 සිට රථ වාහන දඩ මුදල් ඉහළට

දිනුක් හේවාවිතාරණ / චම්ලි ඒකනායක




රථවාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල් ජුලි මස 15 වැනි දා සිට වැඩිකර ඇති බව පොලිස් රථවාහන කොට්ඨාශය භාර අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ මාරක රිය අනතුරු අවම කර ගැනීම සදහා අධික වේගයෙන් රිය පැදවීම සදහා වන දඩ මුදල රු. 25000ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට පැවරී තිබෙන බලතල අනුව රථවාහන වැරදි ස්ථානීය දඩමුදල් වැඩිකර ඇති අතර ඒ සම්බන්ධව ඉකුත් ජනවාරි මස 15 වනදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ජුලි මස 15 සිට බලාතමක වනු ඇති.

මේ දක්වා ස්ථානීය දඩ මුදල් අය කිරීමේ වැරදි 23ක් තිබු අතර එය 33 දක්වා ඉහල දමා තිබෙනවා. පොලීසය සදහන් කරන්නේ ස්ථානීය දඩ මුදල් 30-50% අතර ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව අධික වේගයෙන් රිය පැදවීම සඳහා වන දඩ මුදල රු. 3000 දක්වාද, පොලිස් නිලධාරීන්ගේ විධානයන්ට අවනත නොවීම සදහා වන දඩය රු. 2000 දක්වාද, උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතු වල නිරතවීම සදහා වන චෝදනාවට රු. 2000ක් වශයෙන් ස්ථානීය දඩමුදල් මෙම ගැසට් නිවේදනය මගින් පනවා ඇත.

දිවයින පුරා පිහිටා ඇති පොලිස් ස්ථාන 489 ට මේ වන විට නව දණ්ඩනයන් සදහා වන චෝදනා ඇතුලත් දඩ පත්‍රිකා බෙදා හැර ඇති බව රථවාහන කොට්ඨාශය භාර අධ්‍යක්ෂකවරයා සදහන් කර සිටියා.