Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව මරණ දඬුවම වහා හකුළා ගත යුතුයි

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකාව මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්නේ නම්, එම සැලසුම වහා හකුළා ගත යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වී සිටින පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදීමට සූදානම් බවට ඊයේ (11) පළ වූ වාර්තාවන්ට ප‍්‍රතිචාර දක්වමින්.

නිවේදනයක් නිකුත් කරමින් ක්ෂමා සංවිධානය පවසන්නේ මරණ දඬුවම කෲර මෙන්ම වෙනස් කළ නොහැකි දඬුවමක් බවයි. 

මෙතෙක් එම දඬුවම ක‍්‍රියාත්මක නොකර පවත්වාගෙන පැමිණි ධනාත්මක වාර්තාව තවදුරටත් පවත්වාගෙන යාමට ශ‍්‍රී ලංකාව පියවර ගත යුතු බවයි එම සංවිධානය අවධාරණය කරන්නේ. බොහෝ රටවල් මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකර ඇති මොහොතක එම දඬුවම ක‍්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම ශ‍්‍රී ලංකාව එම බිහිසුණු පිළිවෙත අනුගමනය කරන සීමිත රටවල් ගොන්නට එක්වීමේ වැරදි පියවරක් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පවසනවා. 

වසර 40කට වැඩි කාලයක් ශ‍්‍රී ලංකාව මරණ දඬුවම ක‍්‍රියාත්මක කර නැහැ. එවැනි තත්වයක් තුළ දැන් එම දඬුවම ක‍්‍රියාත්මක කිරීමෙන් ශ‍්‍රී ලංකාවේ කීර්ති නාමයට හානියක් වන බව ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දිනුෂිකා දිසානායක පවසනවා. 

වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකා රජය මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම නවතා දැමිය යුතු බවයි ඇය අවධාරණය කර ඇත්තේ. 

ශ‍්‍රී ලංකාව අවසන් වරට මරණ දඬුවම ක‍්‍රියාත්මක කර ඇත්තේ 1976 වසරේදීයි. මේ වනවිට රටවල් 142ක් මරණ දඬුවම නීතියක් හෝ ක‍්‍රියා පිළිවෙතක් ලෙස සිදු කිරීම අහෝසි කර තිබෙනවා. ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 19ක්  ඕනෑම අපරාධයක් වෙනුවෙන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අවලංගු කර ඇතැයි සඳහන්. තවත් රටවල් 07ක මරණ දඬුවම නීතියක් ලෙස තිබුණද එය ක‍්‍රියාත්මක වන්නේ නැහැ. 

2017 වසරේ දත්තවලට අනුව මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන රටවල් සංඛ්‍යාව 23ක්. එහෙත් ඉකුත් වසර පහක කාලය සැසදීමේදී සෑම වසරකම මරණ දඬුවම ක‍්‍රියාත්මක කර ඇත්තේ රටවල් 11ක් පමණයි. එය ලොව සමස්ත රටවලින් සියයට 06ක්.