Thursday, May 2, 2024

General line - 0115112241

වසර 25 කට පසු ජපානය කැළඹු "ජෙබි" (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




බටහිර ජපානයට බලපා තිබෙන "ජෙබි සුළි කුණාටුව" හේතුවෙන් මේ වන විට එහි ගොඩනැගිලි, ගුවන් තොටුපල ඇතුළු රථවාහන රැසකට දැඩි හානි සිදුව ඇති බව එරට මාධ්‍ය සදහන් කරනවා.

ජපානයේ ටෝකුශිමා නගරය කේන්ද්‍ර කර ගනිමින් "ජෙබි සුළි කුණාටුව" අද (04) සවස් වන විට දැඩි බලපෑම් එල්ල විය හැකි බව එරට මාධ්‍ය සදහන් කරනවා. මෙවැනි ප්‍රබල සුළි කුණාටුවක් ජපානයට බලපාන්නේ වසර 25 කට පසුව බවයි එරට කාලගුණ බලධාරීන් සදහන් කරන්නේ.

මේ අතර ජෙබි සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මියගොස් තවත් 67 දෙනෙක් තුවාල ලබා ඇති බව සදහන්.

ජපානයේ ප්‍රධාන පෙලේ ගුවන් තොටුපලක් වන කන්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපලද "ජෙබි සුළි කුණාටුව" හේතුවෙන් වසා දමා ඇති බව එරට බලධාරීන් සදහන් කරනවා.

මේ අතර ඉෂුමිසානෝ සහ ඔසාකා නගර දෙක සම්බන්ධ කරන ප්‍රධාන පාලමක් හානි කරමින් විශාල නැවක් මුහුදින් ගසා ගෙන විත් සිරවී ඇති බව බලධාරින් සදහන් කරනවා. සුළි කුණාටුවත් සමග ප්‍රචන්ඩව ඇති මුහුදේ රළ පහරත් සමග නැව මෙසේ ගසා ගෙනවිත් ඇති අතර එහි කාර්ය මණ්ඩලයට නැවේ එංජිම පණ ගන්වා ගැනීමට හැකිවී නොමැති බව වාර්තා වේ.

මේ හේතුවෙන් කන්සායි ගුවන් තොටුපලේ රැඳී සිටින මගීන් ඇතුළු පුද්ගලයින්ට සිය ගමනා ගමනයට මෙම පාලම යොදා ගැනීමට හැකියාවක් නොමැති වීම නිසා  දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ජෙබි සුළි කුණාටුව හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් මේ නිසා නාය යාම් සහ ගංවතුර අවධානමක් පවතින බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇති බව NHK මාධ්‍ය ආයතනය නිවේදනය කරනවා.

මෙම සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ පොදු ප්‍රවාහන සේවාවන් අඩාලවී ඇති අතර විශාල වාහන සංඛ්‍යාවක් මෙන්ම ගොඩනැගිලි වලටද හානි සිදුව තිබෙනවා.