Thursday, May 2, 2024

General line - 0115112241

තුර්කි ජනාධිපති සෞදියට එරෙහිව යුධ ප්‍රකාශ කරද්දී ජමාල්ගේ පුතුන් සෞදි රජ මැදුරට යයි (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතනය අත්වැරදීමකින් සිදුවු දෙයක් බවට සෞදි අරාබිය සිදුකරනු ලබන ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බව තුර්කි ජනාධිපති  රිපෙප් ටෙයිප් එර්ඩෝගන් එරට පාර්ලිමේන්තුව අමතමින් ඊයේ (23) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියා. ජමාල් කෂෝගී ගේ මරණය කෲර ඝාතනයක් බවයි තුර්කි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් තුර්කි ජනාධිපතිවරයා දරණ මතය සම්බන්ධයෙන් මුළු ලෝකයම බලා සිටි අවස්ථාවේදී ඔහු සිදුකළ ප්‍රකාශය ගැන ලොව පුරා කතා බහක් මතුවී තිබෙනවා.

වොෂින්ටන් පෝස්ට් මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් කිරීමට සෞදි බලධාරීන්ට හැකිදැයි විමසා සිටි තුර්කි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් 18 දෙනා තුර්කියට භාර දිය යුතු බවයි. ඔවුන් සිදුකළ අපරාධය සම්බන්ධයෙන් තුර්කියේදී නඩු විභාග කළ යුතුයි" ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

මේ දක්වා ජමාල් කෂෝගී ගේ සිරුර සොයා ගැනීමට හැකිවී නැහැ යැයි තුර්කි ජනාධිපතිවරයා කියා සිටියා. එමෙන්ම ජමාල් කෂෝගී ගේ ඝාතනයට පෙර දින සෞදි කොන්සියුලර් කාර්යාලයේ නිළධාරින් කණ්ඩායමක් ඉස්තාන්බුල් නගරයට කිලෝමීටර් 90ක් දුරින් පිහිටි වනගත ප්‍රදේශයක සිදුකළ ක්‍රියාකාරකම් කිහිපයක් ඔස්සේ විමර්ශන කණ්ඩායම් සොයා බලමින් සිටින බව හෙළිකර සිටියා.

මේ අතර ඊයේ සෞදියේ රියාද් අගනුවරදී ඝාතනයට ලක්වූ ජමාල් කෂෝගී ගේ පුතුණුවන් දෙදෙනා සහ සෞදි රජ පවුල අතර හමුවක් සිදුව තිබෙනවා. 

මෙම හමුව සදහා සෞදියේ පාළක සල්මාන් රජු සහ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සහභාගිවූ අතර එහිදී ඔවුන් දෙදෙනා ඝාතනයට ලක්වූ ජමාල් කෂෝගී ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පුතුන් දෙදෙනා සිය සංවේගය පළ කර සිටි බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.