Thursday, May 2, 2024

General line - 0115112241

ජිනීවා මානව හිමිකම් කොමිසමට උතුරේ වැසියන්ගේ අත්සන් ලක්‍ෂයක් සහිත පෙත්සමක්

දිනසේන රතුගමගේ




ජිනීවා මානව හිමිකම් කොමිසමට උතුරේ වැසියන්ගේ අත්සන් ලක්‍ෂයක් සහිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. ඊට අත්සන් ලබාගැනීම මුලතිව් ප‍්‍රදේශයෙන් ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ලබන මාසයේදී ආරම්භ වන ජීනීවා මානව හිමිකම් කොමිසමේ සැසි වාරයට ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම පෙත්සමට අත්සන් තැබෙනවා. යුද සමයේදී අතුරුදන් වූ පිරිසට සාධාරණයක් කරන්නැයි එමගින් ඉල්ලා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් සහ අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයා බලන ස්වේච්ඡා සංවිධාන එක්ව මෙම පෙත්සමට අත්සන් ලබැගනීම සිදුකරනවා. ඔවුන් පවසන්නේ 20,000 කට ආසන්න පිරිසක් යුද සමයේදී අතුරුදන්ව ඇතත් ඔවුන්ට මේ දක්වා කිසිදු සාධාරණයක් ඉටුව නොමැති බවයි. අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමට ඉකුත් සමයේ පත් කළ කොමිසම සහ කාර්යාලය මගින් ද අපේක්‍ෂිත ප‍්‍රතිඵල අත්නොවූ බව ඔවුන් පවසනවා.

යුද සමයේ අතුරුදන් වූවන් පිළිබඳ කි‍්‍රයාත්මක කළයුතු යාන්ත‍්‍රණයක් ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ශි‍්‍ර ලංකා රජයට යෝජනා කළද ඊට කිසිදු අනුකූලතාවක් දක්වා නොමැති බවද පෙත්සමේ සඳහන්. එබැවින් ඉතිරිව ඇත්තේ රජයට බලපෑම් කිරීම පමණක් බවයි පෙත්සම සකස් කරන පාර්ශ්ව අවධාරණය කරන්නේ.