Friday, April 26, 2024

General line - 0115112241

නවසීලන්ත ප්‍රහාරකයා මට්ටු කලේ ක්‍රෙඩ්ට් කාඩ් යන්ත්‍රයකින් : මියගිය පිරිසකගේ අනන්‍යතාවය සොයා පොලිසිය වෙහෙසෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර තුවාල ලබා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 50ක් වන බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි එරට පොලිසිය සදහන් කරන්නේ.

මියගිය පිරිස අතර අවුරුදු 3 සහ 4 හැවිරිදි දරුවන් දෙදෙනෙක්ද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඊට අමතරව කුවේට් හි ජාතික මට්ටමේ ගෘහස්ත පාපන්දු ක්‍රිඩකයෙක් වන අට්ටා එල්යාන්, පලස්තීන ජාතික හෘද ශල්‍ය වෛද්‍යවරයෙක් වන අම්ජාඩ් හමීඩ්ද මියගිය පිරිස අතර සිටින බවයි එරට පොලිසිය සදහන් කරන්නේ.

මේ අතර ප්‍රහාරයෙන් මියගිය ඇතැම් පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර ගැනිමට අපොහොසත් විම හේතුවෙන් නවසීලන්ත පොලිසිය දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් බහුතරයක් මුස්ලිම් වැසියන් විම හේතුවෙන් ඔවුන්ගේ ආගමට අනුව පුද්ගලයෙක් මියගොස් පැය 24ක් ගත විමට පෙර අවසන් කටයුතු සිදු කිරිම අත්‍යාවශ්‍ය කරුණක් විම එයට හේතුවයී.

ඇතිවි තිබෙන තත්ත්වය පිළිබදව කරුණු පැහැදිලි කරමින් නවසීලන්ත පොලිස් දෙපාර්තමෙන්තුවේ ප්‍රධානි මයික් බුෂ් කියා සිටියේ මෙය ඉතා කණගාටුදායක කරුණක් බැවින් හැකි ඉක්මනින් මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය හදුනා ගැනිමෙන් අනතුරුව අවසන් කටයුතු සිදු කිරිමට සිරුරූ ලබා දිමට කටයුතු කරන බවයි.

මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 28 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටෙරන්ට් මෙම ප්‍රහාරය ඔහු විසින් තනිවම මෙහෙයවා ඇති බවයි නවසීලන්ත පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ.

ඔහුට අමතරව අත් අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන් තිදෙනා මෙම ප්‍රහාරයට සෘජු සම්බන්ධයක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. කෙසේ වුවත් එම තිදෙනා ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිමේ කටයුතු සිදු කරන බව පොලිස් ප්‍රධානියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

පසුගිය සිකුරාදා එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිට වඩා පිරිසක් මිය යාමට ඉඩ තිබු අවස්ථාව වලක්වාලිමට සමත් වු එක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය අද කරුණු අනාවරණය කර සිටියා.

තුවක්කුකරුගේ දෙවන ඉලක්කය වු ලීන්වුඩ් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයට ප්‍රහාර එල්ල කරමින් ඇතුල්විමට උත්සහ දැරිමේදි ඒ අසල සිටි අබ්දුල් අසීස් නම් පුද්ගලයෙක් විසින් තුවක්කුකරුගේ අතට "ක්‍රෙඩිට් කාඩ්" මැෂිමකින් පහරදි තිබෙනවා.

නොසිතු මොහොතක එල්ලවු ප්‍රහාරයෙන් පසු තමාට පහරදුන් පුද්ගලයා පසු පස දිව යාමේදි තුවක්කුකරුවු බ්‍රෙන්ටන් ටෙරන්ට් අත රැඳි ගිනි අවිය බිම වැටි ඇති අතර ඔහු ඒ සමග තම කාර් රථයට දිව ගොස් ඇත්තේ තවත් තුවක්කුවක් සහ අමතර පතොරම් රැගෙන ඒමටය.

කෙසේ වුවත් ඒ අවස්ථාවෙදි එම ස්ථානයට පැමිනි නවසීලන්ත පොලිසියේ නිළධාරින් දෙදෙනෙක් විසින් බ්‍රෙන්ටන් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබෙනවා.

අබ්දුල් අසීස් නම් පුද්ගලයා සිදුකළ එම ක්‍රියාව හේතුවෙන් සිදුවිමට ගිය විශාල ජිවිත හානියක් අවම කර ගැනිමට හැකිවු බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මෙම මිලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකිරිම උදෙසා ලොව පුරා සැමරුම් පැවැත්වෙමින් තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි සුප්‍රකට ඕපෙරා නිවසේ නවසීලන්ත ධජයේ සලකුණ සටහන් තබමින් මියගිය පුද්ගලයින් වෙනුවෙන් සිය ශෝකය පළකරනු ලැබුවා.