Friday, April 26, 2024

General line - 0115112241

ෆේස්බුක් සමාගමත් හුවාවේ අත්හැරීමට සැරසෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හුවාවේ සමාගමට දොර වැසීමට ෆේස්බුක් ආයතනය ද සූදානම් වනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ඉදිරියේදී අලුතින් වෙලඳපළට පැමිණෙන හුවාවේ ජංගම දුරකතනවලින් ෆේස්බුක් මෘදුකාංගය ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර ඇති බවයි. ඒ අනුව ෆේස්බුක් සමාගම විසින් හිමිකාරීත්වය දරණ මැසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් යන මෘදුකාංගයන්ද ඉදිරියේදී වෙළඳපලට පැමිණෙන හුවාවේ ජංගම දුරකතන හරහා භාවිතයේදී බාධා එල්ල විය හැකි බවටයි මත පළ වන්නේ.

කෙසේවෙතත් මෙම තීරණය ක්‍රියාවට නංවන්නේ කවදාදැයි ෆේස්බුක් සමාගම මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ. මේවනවිට භාවිතයේ පවතින හුවාවේ ජංගම දුරකතන සඳහා මෙම නව තීරණය බලනොපාන බවයි ෆේස්බුක් සමාගම පවසා ඇත්තේ. 

එම සමාගම මෙම තීරණය ගනු ලැබුවේ අමෙරිකානු රජය විසින් හුවාවේ සමාගමට එරෙහිව පැනවූ සම්බාධක හමුවේ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීට පෙර ගූගල් සමාගමද හුවාවේ ජංගම දුරකතන ඔස්සේ සිය යෙදවුම භාවිත කිරීම අවහිර කරනු ලැබුවා.