Friday, April 26, 2024

General line - 0115112241

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහය "සජිත්ට"

මාධව කුලසුරිය / දිනසේන රතුගමගේ




ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයදීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) තීරණය කර තිබෙනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හමුවේ මෙම තීන්දුව අද (03) ගනු ලැබූ බවයි වව්නියාවේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර සිටියේ.

සිය පක්ෂය සමග එකතුවී සිටින අනෙකුත් දමිළ දේශපාලන පක්ෂ සමග ද මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ජා කරන බවයි සුමන්දිරන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකයින් අද වවුනියාව පෞද්ගලික හෝටලයකදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.

මාවේයි සේනාධිරාජා නායකත්වය දරණ ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් නායකත්වය දරන දෙමළ මහජන පෙරමුණ, සෙල්වම් අඩෙක්කලනාදන් නායකත්වය දරණ ටෙ‍ලෝ සංවිධානය, ධර්මංලිංගම් සිද්ධාර්ථන්  නායකත්වය දරණ ප්ලොට් සංවිධානය හා සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරණ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය යන පක්ෂ ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීමට එකඟතාවයකටද එළැඹ තිබෙනවා.

කරුණු13 කින් යුතු යෝජනාවලියක් ප්‍රධාන දේශපාලන පක්ෂවල ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් වෙත අදාළ පක්ෂ විසින් ඉදිරිපත් කළ අතර අදාළ යෝජනාවලිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා සාධාරණයක් ඉටුවන බවට දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් සජිත් ‍ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කොට තිබුණා.