Wednesday, May 8, 2024

General line - 0115112241

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයින් ඉවත් නොවීමෙන් ගැටලුසහගත තත්ත්වයක්




නව ආණ්ඩුවක් බිහිවුවද, ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයින් එහි තනතුරුවලින් ඉවත් නොවීම හේතුවෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වනවා. ව්‍යවස්ථාදායක සභාව ලබන 12 වැනිදා යළි රැස්වීමටයි නියමිතව ඇත්තේ. 

කථානායකවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ව්‍යවස්ථාදායක සභාවට නිල බලයෙන් පත්වනවා. මීට අමතරව ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද සමරසිංහ ද, අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර තලතා අතුකෝරළ ද පත් කෙරුණා. සිවිල් සංවිධාන නියෝජිතයින් 03 දෙනෙකු ද ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරනවා. 

නව ආණ්ඩුව පත්වීමත් සමග අග‍්‍රාමාත්‍ය තනතුර සහ විපක්ෂ නායක තනතුරද වෙනස් වී තිබෙනවා. ඒ අනුව ලබන 12 වැනිදා ව්‍යවස්ථාදායක සභාව රැස්වීමේදී ඊට සහභාගී වන්නේ කුමන නියෝජිතයින්දැයි ගැටලුවක් පවතින බවයි දේශපාලන විශ්ලේශකයින් පෙන්වා දෙන්නේ. 

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයින් කිසිවෙකුත් ඉවත් කිරීමට බලයක් නොමැති අතර ඔවුන් ඉල්ලා අස්වීම සම්ප‍්‍රදායයි.

මෙම තත්ත්වය මත නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පත්කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර තලතා අතුකෝරළගෙන් විමසීමක් කළා. 

ඇය ප‍්‍රකාශ කළේ අදාළ ධූරයෙන් ඉවත්වන ලෙසට කිසිඳු පාර්ශ්වයක් මේ දක්වා නිල දැනුම්දීමක් කර නොමැති බවයි. පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ උපදෙස් මත ඉදිරියේදී තීරණයක්  ගන්නා බව ද මන්තී‍්‍රවරිය ප‍්‍රකාශ කළා. 

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සංවිධාන නියෝජිතයෙකු වන ජයන්ත ධනපාලගෙන් ද නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. ඔහු ප‍්‍රකාශ කළේ තමන් ලබන 12 වැනිදා පැවැත්වෙන රැස්වීමට සහභාගී වන බවයි.