Thursday, May 2, 2024

General line - 0115112241

රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවනු ඇතැයි අපේක්ෂා කරන බව ජනපති එක්සත් ජාතීන්ගේ එක්දින සමුළුවේදී කියයි




රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්. 2019 වසරේ ජුනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර වූ එකඟතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව ශ‍්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) රාත‍්‍රී 7.45ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ කෙරුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සමුළුව අමතනු ලැබුවේ  ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 9.45ට පමණයි.

"United Nation We Need" හෙවත් ”අපට අවශ්‍ය එක්සත් ජාතීන්” යන පාඨය, රාජ්‍යයන්ගේ ස්වෛරි සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප‍්‍රාණ ඇපයට නොගැනීමෙන්, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරිත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

කොවිඞ් -19 වසංගතය රටවල ආර්ථිකයන්, සෞඛ්‍ය පද්ධති අඩපණ කරමින් ලෝකය පීඩාවට පත් කර තිබෙනවා. දැනුවත් මැදිහත්වීමක් මගින් කොවිඞ් 19 අභියෝගයට සාර්ථකව මුහුණදීමට ශී‍්‍ර ලංකාවට හැකි වූ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ.

ශ‍්‍රී ලංකාව පළමු රෝගියා හඳුනාගැනීමටත් පෙර කෝවිඞ්-19 නිවාරණ ජාතික ක‍්‍රියාකාරී කමිටුව පත් කළ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ශ‍්‍රී ලංකාවේ කොවිඞ් -19 රෝගින්ගේ සුවවීමේ අනුපාතය සියයට 90 ඉක්මවන අතර, එය ගෝලීය සුවවීමේ අනුපාතයට වඩා ඉහළ අගයක් වනවා. "සොයා ගැනීම හා නිරෝධායනය” එම සාර්ථකත්වයට පිටිවහලක් වූ ප‍්‍රබලතම ශක්තිය බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළා. 

මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් 75 වන සමුළුවේ පළමු සහ දෙවන ප‍්‍රකාශ සිදු කළා. රාජ්‍ය නායකයෝ 180 දෙනෙකු වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.