Friday, April 26, 2024

General line - 0115112241

පරිසර වාර්තා නොගත් කර්මාන්තශාලා හාරදහසක් කැළණි ගඟ දෙපස




කැලණි ගඟ දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්තශාලා හාරදහසක් පමණ පවතින බව අනාවරණ වී තිබෙනවා. 

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ සියළුම පරිසර සංවිධාන නියෝජිතයින් අතර එම අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදි එම කරුණු අනාවරණ වූ බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ. කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා කැලණි ගඟ දෙපස ඉවුරේ කර්මාන්තශාලා හත්දහසක් පමණ ඇති බවත්, ඒ අතරින් පරිසර වාර්තා ලබාගෙන ඉදි කර ඇත්තේ කර්මාන්තශාලා තුන්දහසක් පමණ ප‍්‍රමාණයක් පමණක් බවත්, පරිසරවේදීන් එහිදී පෙන්වා දී තිබෙනවා. 

මෙම කර්මාන්තශාලාවලින් පිට කරන අපජලය බැහැර කිරීමේ කි‍්‍රයාවලිය වහාම අධ්‍යයනය කළ යුතු බවයි පරිසරවේදීන් එහිදී අවධාරණය කර ඇත්තේ. පරිසර වාර්තා ලබා නොගෙන ඉදිකර ඇති කර්මාන්තශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් කර ඊට අදාළ වාර්තා තමන්ට ලබාදෙන ලෙසයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර එහිදී මධ්‍යම පරිසර අ‎ධිකාරියට දැනුම් දී ඇත්තේ. 

එමෙන්ම, පරිසර සංරක්ෂණය උදෙසා ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පරිසර ආරක්ෂණ බලකායක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍යාංශ 16 ක ලේකම්වරුන්ගේ සාමාජිකත්වය යටතේ එම බලකාය පිහිටුවීමට අදාළ අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාව මේ වන විට සකස් කර ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර එම සාකච්ඡුාවේදී ප‍්‍රකාශ කර තිබෙනවා.