Friday, April 26, 2024

General line - 0115112241

රංජන් මඩුගල්ලට යළිත් ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීමට වරම්




තරග තීරකවරයකු ලෙසින් ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව සිටින ශ‍්‍රී ලාංකිකයෙකු වන රංජන් මඩුගල්ලේට ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන ටෙස්ට් තරගයකදී තරග තීරකවරයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමට එරෙහිව ලබන 14 වනදා ගාල්ලේදී ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් මඩුගල්ලේ පත් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පියවර ගැනීමත් සමගයි. ටෙස්ට් තරගාවලියක් සඳහා තරග තීරකවරයකු නම් කිරීමේදී අනුගමනය කරනු ලබන සාමාන්‍ය සම්ප‍්‍රදාය වන්නේ තරග වදිනු ලබන රටවල් දෙකට අයත් නොවන රටක තීරකවරයෙකු පත් කිරීමයි.

කෙසේවෙතත් ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඒ ඒ රටවල තීරකවරුන් සහ විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර ඇති බැවින් රංජන් මඩුගල්ලේට මෙම අවස්ථාවට හිමිවී තිබෙනවා.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක මඬුල්ලේ ප‍්‍රධානියා ලෙසින් කටයුතු කරනු ලබන රංජන් මඩුගල්ලේ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් තරග තීරකවරයා ලෙස කටයුතු කළ තරග තීරකවරයාද වනවා. 1993 වසරේදී පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැති ටෙස්ට් තරගයෙන් සිය තරග තීරක දිවිය ඇරඹූ රංජන් මඩුගල්ලේ මේ වන විට ටෙස්ට් තරග 193 කදී තරග තීරකවරයකු ලෙස කටයුතු කර තිබෙනවා.

ටෙස්ට් තරග 150 ක් වෙනුවෙන් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන ලද ලොව පළමු තරග තීරකයා ලෙසින් ඔහු ඉකුත්දා වාර්තාවක් පිහිටුවනු ලැබුවා. රංජන් මඩුගල්ලේ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලි 7 කදී සහ 1999, 2003 සහ 2019 යන වසරවල පැවැති ලෝක කුසලාන තරගාවලිවල  අවසන් මහ තරගවල තරග තීරකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 21 කට කී‍්‍රඩා කර ඇති රංජන් මඩුගල්ලේ අවස්ථා දෙකකදී ශ‍්‍රී ලංකා පිලේ නායකයා ලෙසද කටයුතු කළා.