Thursday, May 2, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාර සමයේ ගෙන්වූ කඩු 6,000 සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ සමයේ මෙරටට ආනයනය කරන ලද කඩු 6,000 සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් ලබා ගෙන මාර්තු මස 31 වනදා අධිකරණයට කරුණු දක්වන ලෙසට අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා. ඒ, ආනයනය කරන ලද කඩු අතරින් කඩු 5,400 ක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි ආකාරයට සිදු නොකිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ගොනු කළ රිට් පෙත්සමට අදාළවයි.

එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර සහ මායාදුන්න කොරෙයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. ප්‍රශ්නගත කඩු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඇත්ද යන්න සහ එහි වර්තමාන තත්ත්වය මීළඟ දින අධිකරණයට වාර්තා කරන ලෙසටයි අභියාචනාධිකරණය එහිදී නීතිපතිවරයාට නියෝග කළේ.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු වග උත්තරකාර  පාර්ශවයන් වෙත නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය මීට පෙර  නියෝග කළා. කාදිනල් හිමියන් සිය රිට් පෙත්සමේ දක්වා ඇත්තේ අදාළ කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කළේ කවුරුන්ද සහ ඒ සදහා අරමුදල් ලැබුණු ආකාරය පිළිබඳ කිසිදු කරුණු අනාවරණයක් සිදු කර ගැනීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවයි.

අදාළ කඩු සහ අනෙක් ආයුධ තොගය මෙරටට ආනයනය කිරීමට අදාළව විමර්ශනය නොකිරීම රට අනාරක්ෂිත කිරීමක් බවත්, සාධාරණය අපේක්ෂා කරන පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් කාදිනල් හිමියන් සිය පෙත්සමේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.