Friday, April 26, 2024

General line - 0115112241

කැරොලයින් ජූරි සහ චුලාට ඇප




2019 ලෝක විවාහක රූ රැජින ලෙස තෝරා ගත් කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍ර යන අය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා .

ඒ අනුව සැකකරු දෙදෙනා  රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා .

2020 විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට සුළු තුවාල සිදුකිරීම, බියගැන්වීම, සාපරාධී බලහත්කාරකම් පෑම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන පසුගිය අප්‍රේල් මස 8 වන දින පොලිස් ඇප මත නිදහස් කර තිබුණි .

සැකකරුවන් සම්බන්ධයෙන් බී වාර්ථාවක් කුරුදුවත්ත පොලීසිය විසින් අධිකරණයට ගොනු කළ අතර මෙම නඩුව සමථයකට පත් කර ගැනීමට  පැමිණිලිකාර පුෂ්පිකා ද සිල්වා මහත්මිය එකඟ වී ඇති බව ඇයගේ  නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියා.

කෙසේවෙතත්  කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ  මෙම  ගැටුම හේතුවෙන්  නෙළුම් පොකුණ රඟහලට රුපියල් ලක්ෂ 4ක පමණ අලාභයක් සිදුව ඇති බවයි.

ඒ අනුව නෙළුම් පොකුණ රඟහලට සිදු වූ අලාභය නිශ්චිතව ගණනය කර විමර්ශන උදෘත  නීතිපතිවරයා වෙත යවා උපදෙස් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස  ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා  පොලීසියට නියෝග කරන ලදී .

මෙම නඩුව යළි ජූනි මස 28 වන දින යළි කැඳවීමට නියමිතය.