Wednesday, May 8, 2024

General line - 0115112241

ජනපති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අතර විශේෂ සාකච්ජාවක් 




ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් උත්සාහ දරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

මේ වන විට මෙරට ජනතාවට ලබාදී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් ලක්ෂ 06කට ආසන්න පිරිසකට එහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිතිතුමා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අතර සුම් තාක්ෂණය ඔස්සේ අද සාකච්ජාවක් පවත්වා තිබෙනවා.

පැවති එම සාකච්ජාව ඉතා ප්‍රයෝජනවත් බවත් එමෙන්ම ගෝලීය වශයෙන් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ගෝලීයව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 20ක් අවශ්‍යවී ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ.

මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සදහා තවත් දින දෙක තුනකින් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවනු ඇති බව ටෙඩ්‍රෝස් ඇඩනෝම් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මෙරටට ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 6 මෙරට ජනතාවට ලබාදීම කඩිනමින් ආරම්භ කළ හැකි බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. මෙරට තුළ කොරෝනා පළමු රැල්ල පාලනය කිරීම පිළිබද පැසසුමට ලක්කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනෝම් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයද කඩිනමින් පාලනය කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි. 

කොවිඩ් මර්දන වැඩසටහන සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙන යන වැඩපිළිවෙල තමන් එහිදී ඇගයීමට ලක් කළ බවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

මේ අතර කොවිඩ් මර්දන එන්නත් ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන ලෙසයි කොවිඩ් මර්දන කමිටුව අද රැස්වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදී ඇත්තේ. කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළයුතු බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළා.