Friday, April 26, 2024

General line - 0115112241

හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්




දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා.

“දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය”  ලෙසයි එය නම් කර ඇත්තේ.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්ය සාධක බලකායට සාමාජිකයින් 46 දෙනෙකු ඇතුළත්.

අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, සී.බී. රත්නායක, මහින්ද අමරවීර, මහින්දානන්ද අළුත්ගමගේ, රමේෂ් පතිරණ එම කාර්ය සාධක බලකායට ඇතුළත්.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, රාජ්‍ය අමාත්‍යවරුන් දුමින්ද දිසානායක, අරුන්දික ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, කනක හේරත්, ජානක වක්කුඹුර, මොහාන්  ද සිල්වා, විමලවීර දිසානායක, කාංචන විජේසේකර, එස්. වියාලේන්ද්‍රන්, ඩි.බී. හේරත්, ශෂේන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, සීතා අරඹේපොල සහ චන්න ජයසුමන ද එම කාර්ය සාධක බලකායට පත් කර තිබෙනවා.  

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුමක් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් අප්‍රේල් මස 27 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ අන්තර්ගත සමස්ත ප්‍රතිපත්ති රාමුව සහ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒ යටතේ පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, වායු ගෝලය, අපද්‍රව්‍ය, කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය, ජනාවාස හා නගර සහ පාරිසරික අධ්‍යාපනය යනාදී අංශ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් ක්‍රියා කිරීම එම කාර්ය සාධක බලකායට පැවරෙනවා.