Thursday, May 2, 2024

General line - 0115112241

“අනිත් ඒවාට වඩා මාලඹේ හොඳයි – ඇමති බලය භාවිතා කරා නම් හරි”




මා‍ලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ටද අනිවාර්යයෙන් වෛද්‍ය උපාධිය ලබාදිය යුතු බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක පවසනවා.

අද දහවල් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙරට සෙසු වෛද්‍ය විද්‍යාල හා සැසඳීමේදී මාලඹේ වෛද්‍ය විද්‍යාලය සතු පහසුකම් එම විද්‍යාලවල නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළා. තමාගේ කාලයේ එහි උපාධිය පිළිගත් බවත් එදා සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුක පරීක්ෂණවලට විශ්වවිද්‍යාල කොමිසන් සභාව මගින් නීතිරීති සකස් කර තිබූ බවත් පැවසුවා. එහි නිලධාරීන්ද සහභාගී වූ බවත් පැවසුවා.

රටේ ලක්ෂ හතරක දරුවන් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා බවත් එම දරුවන්ට රජයේ විශ්වවිද්‍යාලවලට පැමිණිය නොහැකි බවත් සඳහන් කළා.

රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන 60% සිසුන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට වඩා අඩු සුදුසුකම් ඇති අඩු ලකුණු ඇති අය බවත් පැවසුවා.

ඒ අනූව මානව හා භෞතික පහසුකම්වලින් මාලඹේ අනෙක් වෛද්‍ය විද්‍යාලවලට වඩා ඉදිරියෙන් සිටින බැවින් එම සිසුන්ටද වෛද්‍ය උපාධිය අනිවාර්යයෙන් ලබාදිය යුතු බවත්, වෛද්‍ය සභාවට ඇමති රාජිත යටත්විය යුතු නැති බවත්, ඔහුට ඒ සඳහා බලය ඇති බවත්, එස්.බී දිසානායක පැවසුවා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු එම බලය භාවිතා කළ බවද එස්.බී දිසානායක ඇමතිවරයා මතක් කළා.

මෙම තත්ත්වය වෛද්‍ය සභාවේ ඇති මානසික තත්ත්වය සහ එය ඔවුන්ගේ ගෝත්‍රික ලක්ෂණ බවයි ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.