Friday, April 26, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාව ක්‍රිකට් වාර්තා පොත් අළුත් කරයි




ඔස්ට්‍රේලියාව ක්‍රිකට් වාර්තා පොත් අළුත් කරයි

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමත් සමග ඔස්ට්‍රේලියාව  ක්‍රිකට් වාර්තා පොත් අළුත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ඉතිහාසයට එක්ව ඇත්තේ වැඩිම ලෝක කුසලාන තරගාවලි සංඛ්‍යාවකදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම ලෙසයි.

ඔස්ට්‍රේලියාව මේ දක්වා අවසන් මහා තරග 09 කට සුදුසුකම් ලබා ඇති අතර ඉන් 05 ක්ම ජයගෙන තිබෙනවා.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේදී  ඔස්ට්‍රේලියාවේ ප්‍රතිවාදීන් වන්නේ නවසීලන්තයයි. ඒ අනුව එකම කණ්ඩායම් 02 ක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 03 කදී එකවර මුණ ගැසෙන ඉතිහාසයේ 03 වන අවස්ථාව මෙයයි.

මීට පෙර එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් 1979, 2004 සහ 2016 යන වසරවලදී ඉතිහාසයට එක්වූ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද 2002, 2011 සහ 2014 යන වසරවලදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වල අවසන් තරගයේදී මුණ ගැසෙමින් ඉතිහාසයට එක්වුණා.

 ඔස්ට්‍රේලියාව සහ නවසිලන්තය මීට පෙර 2009 සහ 2015 යන වසරවලදී එකිනෙකා මුණ ගැසුණු අතර 2021 වසරේ පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී ලබන ඉරිදා ද මුණ ගැසීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාව මෙලෙස පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබන්නේ 2010 වසරින් පසුවයි.

2010 වසරේදීද ඊයේ දිනයේ මෙන් දෙවන අවසන් පූර්ව තරගයේදී ඔවුන් අතින් පරාජයට පත්වී ඇත්තේ පකිස්තානය වීම විශේෂත්වයක්. කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවට එහිදී ශූරතාව දිනා ගැනීමට හැකිවූයේ නැහැ.

ඊයේ තරගය පැවැති අබුඩාබි ක්‍රීඩාංගනයේදී පකිස්තානය අඛණ්ඩව තරග 16 ක් ජය ගෙන තිබූ අතර ඊයේ තරගය ජය ගත්තා නම්, වැඩිම පන්දුවාර 20 තරග සංඛ්‍යාවක් අඛණ්ඩව එකම ක්‍රීඩාංගනයකදී ජයගත් කණ්ඩායම ලෙස ඇෆ්ගනිස්තානය සමග සම වීමට පකිස්තානයට අවස්ථාවක් පැවතුනා.