Friday, April 26, 2024

General line - 0115112241

දෙස් විදෙස් ක්‍රිකට් තරු ගැටෙන LPL ක්‍රිකට් උණුසුම අදින් ඇරඹේ




දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා. 

කණ්ඩායම් 05ක් තරගවදින මෙම තරගාවලියේ මූලික වටයේ තරග, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් වටයේ තරග සහ අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ගියවර ශූරයින් වු ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් වූ ගෝල් ග්ලැඩියෙටර්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එම තරගය අද රාත්‍රී 07 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇති. 

තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරු 06ට පැවැත්වෙනවා. මෙවර ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව හිමිව තිබෙනවා. ඒ අනුව ක්‍රීඩාංගණයේ ධාරිතාවයෙන් සියයට 50 කට තරඟ නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇති. 

තරඟ නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් පූර්ණ එන්නත්කරණයට ලක් වු පුද්ගලයින් විය යුතු බවයි ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න පැවසුවේ.

විනය විරෝධි ලෙස හැසිරීම හේතුවෙන් තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමට අවසර ලබා දීමද විශේෂත්වයක්.  

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන්නේ අයි පී එල් තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන ආකාරයටයි. කලම්බෝ ස්ටාර්ස්, දඹුල්ල ජයන්ට්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි වොරියර්ස් යන කණ්ඩායම් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශුරතාව වෙනුවෙන් තරග වදිනවා. 

මෙවර තරගාවලියේදී පැවැත්වෙන මුලු තරග සංඛ්‍යාව 24ක්. අවසන් මහා තරගය දෙසැම්බර් 23 වනදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අද සිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. 

අද පැවැත්වෙන පළමු තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා ප්‍රේක්ෂකයින්ට පස්වරු 04 සිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට පිවිසීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ, අද පස්වරු 06 ට සමාරම්භක උළෙල ද පැවැත්වීම හේතුවෙන්.