Thursday, May 2, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන්නන්ට අමෙරිකාවෙන් අනතුරු ඇගවීම් 




ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේවනවිට ඔස්ට්‍රේලියාව දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා. 

විදෙස් වාර්තා පැවසුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හා වික්ටෝරියා ප්‍රාන්තයට ඔමික්‍රෝන් ව්‍යාප්තියෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. 

එම ප්‍රාන්තවල රෝහල් ආසාදිතයින්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ද මේවනවිටත් ඉඩ පහසුකම් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්වල කාර්යය මණ්ඩල හිගයක් පවතින බව ද වාර්තා වනවා. 

මේ අතර ඕස්ට්‍රේලියාවේ  තවත් ව්‍යාපාර රැසක් ඔම්ක්‍රෝන් ව්‍යාප්තිය හමුවේ අර්බුදයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට හේතුවී ඇත්තේ ව්‍යාපාරිකයින් හා ශ්‍රමිකයින් බොහෝ පිරිසක් කොරෝනා ආසාදිතයින් විම හා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වීමයි. 

ශ්‍රමිකයින්ගේ හිගය හේතුවෙන් භාණ්ඩ හා සේවා සැපයුම් ක්‍රියාවලියට ද බාධා එල්ල වී ඇතැයි වාර්තා වනවා. පවතින ශ්‍රමික හිගයට පිළියමක් ලෙස ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පිරිස් දිරිමත් කිරීමටයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර ඇත්තේ. 

ඒ අනුව ඉදිරි සති 12 තුදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සිසුන් ඇතුළු අනෙකුත් පිරිස් වීසා අයැදුම්පත් ගාස්තු කපා හැරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. මෙම අසීරු අවස්ථාවේදී ඔස්ට්‍රේලියාවට  පැමිණ එරට රැකියා අවස්ථාවල නිරත වන ලෙස ද ඕස්ට්‍රේලියානු  අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා. 

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මගින් රටවල් 21 ක සංචාරය කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. එම රටවල් අතරට ඔස්ට්‍රේලියාව ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.