Friday, April 26, 2024

General line - 0115112241

ජනපති මැදුරේ විනාශ වූ සහ සොරකම් කළ දේපල ගැන විශේෂ පරීක්ෂණයක් ඇරඹේ




ඉකුත් දා පැවැති විරෝධතා අතරතුර ජනාධිපති මන්දිරයේ දේපළවලට සිදුවූ හානි පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපති මන්දිරයට ඇතුළු වූ පිරිස් විසින් විනාශ කරන ලද සහ සොරකම් කරගෙන යන ලද දේපළ සම්බන්ධයෙන් ස්ථිර වශයෙන් සහ නිවැරදිව තහවුරු කරගැනීම එහි අරමුණයි. 

ඒ අනුව ජනාධිපති මන්දිරයේ තිබූ සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාට දැන්වූ බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

අදාළ වාර්තාව ලැබී සති 02 ක් තුළ ජනාධිපති මන්දිරයේ දේපළවලට සිදුවූ හානි පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාගැනීමට හැකි බව ද ඔහු කියා සිටියා. එමෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුතු භාණ්ඩවලට සිදුව ඇති හානි පිළිබඳව ද මෙහිදී පුළුල් විමර්ශනයක් සිදුකිරීමට නියමිත බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ. 

ජනාධිපති  මන්දිරයට ඇතුළු වූ ඇතැම් පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් එහි තිබූ චිත්‍ර සහ සිතුවම්වලට වැඩිවශයෙන් හානි සිදුව ඇති බව මේවනවිට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති මන්දිරයේ තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ හා විනාශ වූ භාණ්ඩ මොනවාදැයි තහවුරු කර ගැනීමේ මූලික කටයුතු ද මේවනවිට ක්‍රියාත්මකයි.