Friday, April 26, 2024

General line - 0115112241

ආජන්ටිනා උප ජනපතිගේ මරුවා මුහුණ අසලටම පැමිණෙයි




ආජන්ටිනාවේ උප ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් කර්ච්නර්, ඝාතන තැතකින් සිය ජීවිතය බේරා ගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. තමන්ට එරෙහිව ගොනු කර ඇති දූෂණ චෝදනාවකට අදාළව අධිකරණයේ පෙනී සිට පැමිණෙමින් සිටියදී ඇය මෙම අවස්ථාවට මුහුණ පා තිබුණා.

උප ජනාධිපතිනිය පිළිගැනීම සඳහා ඇයගේ ආධාරකරුවන් විශාල පිරිසක් එක්ව සිටි අතර එලෙස රැස්ව සිටි පිරිස සමග සුහද කථාබහක නිරත වෙමින් උප ජනාධිපතිවරිය සිය මෝටර් රථය අසලට පැමිණෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එලෙස පැමිණෙන අතරතුරදී ආධාරකරුවන් අතරින් පැමිණෙන පුද්ගලයෙකු උප ජනාධිපතිනිය ආසන්නයට පැමිණ ඇගේ මුහුණ ඉදිරියෙන් ගිනි අවියක් එල්ල කරන අතර එහි ඉලක්කය වන්නේ ඇයගේ හිස ප්‍රදේශයයි.

තුවක්කුකරු විසින් උප ජනාධිපතිනියගේ හිසට අගල් කිහිපයක් පමණක් පරතරය සිටින ලෙස ගිනිඅවිය ළංකර එය ක්‍රියාත්මක කළ ද  කුමන හෝ දෝෂයක් හේතුවෙන් එම අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියාත්මක වන්නේ නැහැ. 

පලා යාමට තැත් කළ තුවක්කුකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 35 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙක් බව ද විදෙස් මාධ්‍ය වර්තා කර තිබෙනවා. සැකකරු විසින් උප ජනාධිපතිනිය ඝාතනයට තැත් කිරීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. කෙසේවෙතත් උප ජනාධිපතිනිය ඉලක්ක කර එල්ල කළ ගිනි අවිය තුළ උණ්ඩ 05 ක් තිබී ඇති බවයි පසුව අනාවරණ වී ඇත්තේ.