රෝයල් පාක් මිනීමැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ලබාදුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළා.
ඉකුත් වසරේ මෙම නඩුවේ තීන්දුව ලබාදුන් අවස්ථාවේදී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් මාසයක් තුළ ගෙවා අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝග කර තිබුණා.
මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම මුදල මේ දක්වා ගෙවා නොමැති බවයි.
ඒ අනුව මෙම වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස දන්වා මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියම කෙරුණා.
මේ අතර රෝයල් පාක් මිනී මැරුම් නඩුවේ විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම වූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙවා තිබෙන බව ඔහුගේ නීතිඥවරු පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ, එම වන්දි මුදල් ගෙවා නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒ සම්බන්ධයෙන් ලබන අප්‍රේල් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිට දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙස දන්වා මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කරන මෙන් අද පෙරවරුවේ නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමකයි.
එම තීන්දුව නිකුත් කර ස්වල්ප වේලාවකින් පසුව අධිකරණය හමුවේ පෙනී සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විසින් අදළ වන්දි මුදල ගෙවා තිබෙන බව සඳහන් කළා.
එවිට විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥවරයාට දන්වා සිටියේ මෙම කරුණ මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසයි.