Wednesday, March 12, 2025

General line - 0115112241

2025 සාෆ් පාපන්දු තරඟාවලිය ශ්‍රී ලංකාවේ



2025 දකුණු ආසියානු පාපන්දු සම්මේලනය සංවිධාන කරන සාෆ් ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2025 ජුනි මාසයේදීයි.

ශ්‍රී ලංකාවට මෙම සත්කාරකත්වය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතාගේ ඉල්ලීමකට අනුව බවටයි වාර්තා වන්නේ. 

ඒ අනුව දකුණු ආසියානු පාපන්දු තරඟාවලියක් මෙලෙස ශ්‍රී ලංකාවේ පවත්වන්නේ 2008 වසරෙන් පසු පළමුවරට වීම විශේෂත්වයක්. 2008 වසරේදීද ශ්‍රී ලංකාව එම තරඟාවලිය සංවිධාන කළේ මාලදිවයින සමඟ එක්වයි.

ඒ අනුව වසර 17 ක දිගු කාලයකට පසු “දකුණු ආසියාවේ පා පන්දු මංගල්‍යය” ලෙස සැලකෙන සාෆ් තරඟාවලියේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වීම මෙරට පාපන්දු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනවා. 

1995 වසරේ කොළඹදී පැවති තරඟාවලියේදී ශ්‍රී ලංකාව සාෆ් පාපන්දු ශූරතාව දිනා ගත් අතර එය මේ දක්වා ශ්‍රී ලංකාව දිනූ එකම සාෆ් පාපන්දු ශූරතාවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට වසර 30 කට පසු ශූරතාව යළි දිනා ගැනීමට අවස්ථාවක් උදා වී ඇති බවටයි පාපන්දු විචාරකයින් පවසන්නේ. 

2025 තරඟාවලියට දකුණු ආසියානු රටවල් හතක් සහභාගී වනු ඇති.  

ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව එම රටවල් වනවා.