Saturday, April 20, 2024

General line - 0115112241

වැස්ස, ලෝක කුසලානයේ අවසන් තරඟයත් සොයා ඵයි




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මේ වන විට නොසිතූ අභියෝගයක් එල්ල වී තිබෙනවා. ඒ, අවසන් තරඟය පැවැත්වෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇඳ හැලීමේ අවධානම හේතුවෙන්. 

කාලගුණ වාර්තාවල දැක්වෙන්නේ අවසන් තරඟය පැවැත්වෙන ලබන ඉරිදා මෙම ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට වර්ෂාව ඇද හැලීමේ සම්භාවිතාව සියයට 70ක්. යම් හෙයකින් ලබන ඉරිදා අවසන් තරඟය පැවැත්වීමට නොහැකි වුවහොත් තරඟය ලබන සඳුදා පැවැත්වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ. 

වර්ෂාව හේතුවෙන් තරඟය අතරමඟ නතර කිරීමට සිදුවුවහොත් ලබන සඳුදා තරඟය නතර කල තැන සිට යළි අරඹනු ඇති. කෙසේ වෙතත් ලබන සඳුදා මෙල්බර්න් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට වර්ෂාව ඇද හැලීමේ සම්භාවිතාව සියයට 80ක්. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් තරගය සම්පූර්ණ කිරීම සඳහා අමතර පැය දෙකක කාලයක් එක් කිරීමටයි තීරණය කර ඇත්තේ. 

මෙම දින දෙකේදීම තරඟය සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් මෙවර තරඟාවලියේ සම ශූරයින් ලෙස පාකිස්තානය සහ එංගලන්තය නම් කරනු ඇති.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරඟ කිහිපයකටම වර්ෂාවෙන් බාධා එල්ල වුණා. දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය පෙනි පෙනී තිබූ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරඟය නතර කලේ ද වර්ෂාව හේතුවෙන්. එම තරඟය ජයගෙන තිබුණා නම් අවසන් පූර්ව තරඟයට පකිස්ථානය නොව දකුණු අප්‍රිකාවට එක්වීමට වැඩි ඉඩක් තිබුණා.

අයර්ලන්තය ඉදිරියේ එංගලන්තය පරාජය වන්නේ ද වර්ෂාව හේතුවෙන්. තියුණු මුහුණුවරක් ගත් ඉන්දීය - බංග්ලාදේශ තරඟයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඉන්දියාවට තරඟයේ ජය වඩාත් පහසු වුණා. ඔස්ටේ්‍රලියාවට සෘජුව බලපෑ එංගලන්තයට එරෙහි පළමු කාණ්ඩයේ තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමටයි සිදුවුණේ.

පවතින තත්ත්වය සලකා අවසන් මහා තරඟය වෙනත් ක්‍රීඩාංගණයකට ගෙන යන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත් සංවිධායකයින් පවසා ඇත්තේ ප්‍රවේශපත්‍ර අලෙවි කර අවසන් බැවින් දැන් එය කළ නොහැකි බවයි. 

වෙනත් ඕනෑම තරඟයක් සඳහා භාවිතා කරන ආවරණ භාවිතා කිරීම ඇතුළුව තණතීරුව සාමාන්‍ය පරිදි සකස් කරන බවයි මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණ බලධාරීන් මේ අතරතුර පවසා ඇත්තේ.