Tuesday, April 23, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් ගැටුම අද




ලොවම බලා සිටින මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, එංගලන්තය සහ පකිස්තාන කණ්ඩායම් අතරයි. මෙල්බර්න් නුවරදී තරග ආරම්භවීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් පස්වරු 1 යි 30 ටයි. මෙම තරගයේ තරග තීරක ලෙස රංජන් මඩුගල්ල කටයුතු කරනු ලබනවා. පිටියේ විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේනද එක්වීමට නියමිතයි.  

මෙවර ඒ කාණ්ඩයෙන් තරගයට පිවිසි එංගලන්ත කණ්ඩායම තමන් මුහුණු දුන් තරග පහෙන් තුනක් ජය ගනිමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා. එම තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් එංගලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

බී කණ්ඩායෙන් තරග වැදුනු පකිස්තාන කණ්ඩායමද තමන් සහභාගි වූ තරග පහෙන් තරග තුනක් ජයගෙන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිකර ගත්තා. එහිදී පකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්. 

2009 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සමග අවසන් තරගයට ක්‍රීඩා කළ පකිස්තාන කණ්ඩායම ලෝක කුසලානය දිනාගනු ලැබුවා. එමෙන්ම 2010 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් වූයේ එංගලන්ත කණ්ඩායමයි. 
ඒ, ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින්. 

එමෙන්ම එංගලන්තය සහ පකිස්තානය අවස්ථා 02 කදී පන්දුවාර 20 යි 20 ලෝක කුසලානයේ අනුශූරයින් වී තිබෙනවා. 2007 වසරේ පැවැති 20 යි 20 ලෝක කුසලානයෙන් පකිස්තානු කණ්ඩායම අනුශූරයින් වූ අතර 2016 වසරේදී එංගලන්තය අනුශූරයින් වුණා. 

ඒ අනුව මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට දෙපිලම එක් වන්නේ එක් අවස්ථාව බැගින් ශූරයින් සහ අනුශූරයින් ලෙස ජයග්‍රහණය කර ඇති පසුබිමක් තුළයි. 

මේ අතර අද පැවැත්වෙන තරගයේදී එංගලන්ත කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට පකිස්තාන කණ්ඩායමේ ප්‍රබල පන්දු යැවීමේ බල ඇණියක් සිටින බවයි ක්‍රිකට් විචාරක අනූෂ සමරනායක පැවසුවේ. නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ටොස් එකට කලින් වැඩසටහට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය හිමි කරගන්නේ කවුද? මේ, ඊට ප්‍රතිචාර දැක්වූ ක්‍රිකට් විචාරක අනූෂ සමරනායක

ක්‍රිකට් විචාරක අනූෂ සමරනායක සහභාගි වූ ටොස් එකට කලින් සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකියි.