Friday, October 4, 2024

General line - 0115112241

ජනපති ගේ ප්‍රදානත්වයෙන් “විජයබාහු" නමින් අධිකාරියට පත් කළ නෞකාව




සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු" නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදු විය.

නාවික හමුදා විශේෂ රථ පෙළපාලියකින්  උත්සව භූමියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නාවික හමුදා උත්තමාචාර මැද පිළිගනු ලැබුවා.

අභිනව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. 

අනතුරුව “විජයබාහු" නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, නෞකාවේ සමරු පොතෙ‍හි විශේෂ සමරු සටහනක් ද තැබුවා.

නාවික හමුදාපතිවරයා විසින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය. 

 “Hamilton Class High Endurance Cutter”  යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා ගන්නා ලද මෙම නෞකාව දිගින් මීටර් 115කි. උපරිම වේගය පැයට නාවික සැතපුම් 29කි.  එක් වරකදි අවම වශයෙන් නාවික සැතපුම් 14,000ක දුරක් ආවරණය වන පරිදි අවේක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නාවික තාක්ෂණ උපාංග හා පහසුකම්වලින් ද මෙම නෞකාව සමන්විත වේ. ‍

එමෙන්ම මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදු කළ වකවානුවේ, එරට මුහුදු කලාපයේ සිදු වූ නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය, නීති විරෝධී සංක්‍රමණ කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දී ඇත.

P 627  ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරුව එහි අණ දෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක ගේ අධීක්ෂණය යටතේ නෞකාවේ පළමු කාර්ය මණ්ඩලයට අයත් 130 දෙ‍නෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයට මාස 10ක පමණ කාලයක් නෞකාව සම්බන්ධ පුහුණුවක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නෞකාවේ නවීකරණ කටයුතු සිදු කර ඇත.