Thursday, May 2, 2024

General line - 0115112241

අලි ඇතුන් පිරිසක් අයිතිකරුවන්ට මුදාහැරීම වළක්වාලමින් නියෝගයක්




වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා  සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් පස් දෙනෙකු   මුල් අයිතිකරුවන් වෙත   මුදාහරින ලෙස කොළඹ   මහේස්ත්‍රාත්  අධිකරණය විසින්  දුන්  නියෝගයක්  ක්‍රියාත්මක වීම අත්හිටුවමින්  අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළා.

එම නියෝගය  දින 14 ක කාලයක් තෙක්  බල පැවැත්වෙනවා.

අලි ඇතුන්  මුල් අයිතිකරුවන් ට ලබාදීමට එරෙහිව ගොනු කල රිට් පෙත්සම් හතරක්  කැඳවූ  අවස්ථාවේදී  මෙම නියෝගය කළා

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව 

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එහිදි  පෙත්සම්කාර  පාර්ශවය දන්වා සිටියේ අලි ඇතුන්  කිහිප දෙනෙකු මුල් අයිති කරුවන්ට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය විසින්    නියෝගයක් නිකුත් කර ඇති බවයි.

හීලෑ අලි ඇතුන් නැවත ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්  අභියාචනාධිකරණය විසින්  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එලෙස  නියෝගයක් නිකුත් කිරීම  ගැටලු සහගත බවත් පෙත්සම්කරුවන් පෙන්වා දුන්නා.

එම කරුණු සලකා බැලූ අධිකරණය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.