Friday, May 10, 2024

General line - 0115112241

විදෙස් රැකියා දෙන බවට වතුකම්කරුවන්ගෙන් මුදල් ගැරූ සැකකරුවෙකු සොයා විමර්ශණ

රංජිත් රාජපක්ෂ




මාලදිවයිනේ රැකියා සඳහා යවන බව පවසමින් වතු කම්කරුවන්ගෙන් මුදල් ලබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නාවලපිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ සැකකරු ගිණිගත්හේන බ්ලැක්වෝටර් වතුයායේ වතු කම්කරුවන් 197 දෙනෙකුගෙන් මුල් අවස්ථාවේ රුපියල් 30,000 බැගින් මුදල් ලබා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මාලදිවයිනේ අලුතින් ඉදි කරන සංචාරක හෝටල්වල රැකියා සඳහා කම්කරුවන් අවශ්‍ය බවට තැරැව්කරු විසින් එම වතු කම්කරුවන්ට පවසා තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකුට මසකට රුපියල් එක් ලක්ෂ අසූ තුන්දහසක වැටුපක් ගෙවන බවද තැරැව්කරු විසින් පැවසූ බවයි වතුකම්කරුවන් පෙන්වා දෙන්නේ.

වෛද්‍ය වාර්තා ලබා ගැනීමට යැයි පවසා තවත් රුපියල් 12,500 බැගින් වතු කම්කරුවන්ගෙන් අය කරගෙන එම වතු කම්කරුවන් රත්මලාන ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

එම වෛද්‍ය වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව තැරැව්කරු අතුරුදන් වී ඇති බවයි වතු කම්කරුවන් පැවසුවේ. ඔවුන් ඒ සම්බන්ධයෙන් කරන ලද පැමිණිලිවලට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කළ බව නාවලපිටිය පොලිස් ස්ථානය පැවසුවා.