Friday, May 10, 2024

General line - 0115112241

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ඇරඹේ




සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 16 වන දා සිට යළි විවෘත කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. බොරතෙල් හිඟය හේතුවෙන් එම පිරිපහදුව ඔක්තොම්බර් මස 07 වන දා වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. 

මර්බන් නමැති ආනයනික බොර තෙල් මෙට්ට්‍රික් ටොන් 90,000ක් රැගත් කොළඹ වරායට පැමිණ තිබෙනවා. මේ වන විටත් එම බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුවේ ටැංකි වෙත ගොඩබෑම් ආරම්භ කර ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. 

පිරිපහදුවේ නිශ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තවත් බොරතෙල් මෙට්ට්‍රික් ටොන් 90,000 ක් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතුද දැනටමත් අවසන් කර තිබෙනවා. 

වසා දැමුණු කාලය තුළ ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පිරිපහදුවේ නඩත්තු කටයුතු සිදු කිරීම හේතුවෙන් ඉදිරියේ දී පූර්ණ ධාරිතාවයකින් නිශ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කිරීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අපේක්ෂා කරන්නේ. 

ඒ අනුව ඩීසල් මෙට්ට්‍රික් ටොන් 1,600ක්, පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 550ක්, භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 950ක්, දැවි තෙල් මෙට්ට්‍රික් ටොන් 1,450ක් හා නැප්තා මෙට්ට්‍රික් ටොන් 450ක් වශයෙන් දෛනිකව වෙළඳපොළට නිකුත් කිරීමට හැකි වෙනවා.