Saturday, May 11, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතන සභිකයින් සංඛ්‍යාව අඩු කිරීමට හැකියි - කොට්ඨාශ සීමා නිර්ණ ජාතික කමිටුවේ සභාපති කියයි




පළාත් පාලන ආයතන සභිකයින් සංඛ්‍යාව 8,800 සිට 5,200 දක්වා අඩු කිරීමට හැකිවනු ඇතැයි පළාත් පාලන ආයතන සඳහාවූ කොට්ඨාශ සීමා නිර්ණ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඒ, මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් ගොනුකර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. ඒ, මෙම පෙත්සම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ පැවසුවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ නිවේදනය දෙසැම්බර් මස අවසන් සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කර ඇති බවයි.

මැතිවරණ කොමිසම එවැන්නක් ප්‍රකාශ කරන්නේ නම් මෙම පෙත්සම ඉන්පසුව එළඹෙන දිනයක සලකා බැලීම සුදුසු බවයි එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන පවසා ඇත්තේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පළාත් පාලන ආයතන 340 ක පමණ නිල කාලය ලබන වසරේ මාර්තු මස 19 වන දා අවසන්වීමට නියමිත බවයි. ඒ අතර මහ නගර සභා 24 ක්, නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් අයත්. එහෙත් අදාළ පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම් පැවැත්වීමට මැතිවරණ  කොමිසම මෙතෙක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටයි පෙත්සම් වලින් චෝදනා කර ඇත්තේ.