Thursday, May 2, 2024

General line - 0115112241

චීන පාසල් යළි ඔන්ලයින් ක්‍රමයට යයි




කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් චීනය දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කළ නොහැකි තත්ත්වයකට පැමිණ ඇති බවයි.

රෝහල් ආසාදිතයින්ගෙන් පිරී පවතින අතර ඖෂධ හිගයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම චීන බලධාරීන් තවදුරටත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අපොහොසත් වුවහොත් ලබන වසරේදී චීනයෙන් කොරෝනා මරණ මිලියන 02 ඉක්මවා වාර්තා වනු ඇති බවයි හොංකොංහි පර්යේෂකයින් පිරිසක් සිදුකළ අධ්‍යයනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ පාසල් පද්ධතියට ද යළිත් බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ චීනයේ විශාලතම නගරය වන ශැංහයි නගරයේ පාසල් යළිත් ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදුකරන බවයි. ශැංහයි අධ්‍යාපන කාර්යංශයට අනුව හෙට සිට පෙර පාසල් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමීමට නියමිතයි. 

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් ඉකුත් දා සඳහන් කළේ කොරෝනා වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවනු ඇති බව තම විශ්වාසය බවයි.

එහෙත් කොවිඩ් මර්ධන එන්නත් ලබා නොගත් තවත් බොහෝ පිරිසක් තවදුරටත් ලොව තුළ සිටින බැවින් කොවිඩ් වසංගත තත්ත්වය තුරන් කිරීම සඳහා තවත් විශාල වැඩකොටසක් සිදුකිරීමට ඇති බව ද ඔහු සඳහන් කළා.