Thursday, May 2, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදයෙන් කඩා වැටුණු ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන පාර්ලිමේන්තුවේ අවධානය




වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා. ඒ, එම අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

ඊට මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන පාර්ශ්ව කිහිපයක නියෝජිතයින් සහභාගී වී තිබෙනවා. එහිදී මේ වන විට එම ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ඒ ඒ පාර්ශ්වවල අදහස් ලබාගත් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහිදී එම නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා සම්බන්ධ සෘජු රැකියාවල නියුතුවන්නන් හය ලක්ෂ 50,000 ක් පමණ හා වක්‍ර රැකියාවල නියුතුවන්නන් ආසන්න වශයෙන් හත් ලක්ෂයක් පමණ සිටින බවයි. නමුත් වර්තමානය වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක් වී ඇති බවත් මේ නිසා මෙම රැකියාලාභීන් අර්බුදයකට මුහුණපා ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම දැනට ඉදිකර ඇති මහල් නිවාස සහ කාර්යාල වැනි ඉදිකිරීම් අළෙවි කර ගැනීමට අපහසු තත්ත්වයක් උද්ගතව ඇති බවත් ආර්ථික අර්බුද හමුවේ පවතින අනෙකුත් ගැටලු පිළීබඳවත් එම නියෝජිතයින් අනුකාරක සභාවේදී අදහස් පළ කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

කඩිනමින් මේ පිළිබඳ වූ යෝජනාවන් පාර්ලිමේන්තුවට සහ රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉන් අනතුරුව ප්‍රකාශ කර තිබෙනවා.