Thursday, May 2, 2024

General line - 0115112241

එක්දින තරඟාවලියේ ජයත් ඉන්දියාවට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟාවලියද ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. ඒ, තරඟ 3කින් සමන්විත එම තරඟාවලියේ තවත් තරඟයක් ඉතිරිව තිබියදීයි. අද පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟය ඉන්දීය කණ්ඩායම ජය ගනු ලැබුවේ කඩුලු 4කින්. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 215ක් පමණයි.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ නුවනිදු ප්‍රනාන්දු අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා. එලෙස සිය මංගල එක්දින තරගයේදී අර්ධ ශතකයක් රැස් කළ 06 වෙනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්වූණා. කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් රැස් කළ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 32ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 219ක් රැස් කරමින් තරඟය ජය ගනු ලැබුවා. කේ එල් රාහුල් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 64ක්. හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 36යි.

කෙසේ වෙතත් නායක රෝහිත් ශර්මාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 17ක් පමණයි. විරාත් කෝලි ලකුණු 4කට දවා ගැනීමට ලහිරු කුමාර සමත් වුණා.

එක්දින ක්‍රිකට් තරඟාවලියේ තුන්වන සහ අවසන් තරඟය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පැවති  පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟාවලිය  ජයගනු ලැබුවේද ඉන්දීය කණ්ඩායමයි.