2024 සන්නද්ධ හමුදා අනුස්මරණ දිනයෙහි ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද පැවැත් වුණා.
පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘභූමියේ සුරක්ෂිතතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලබනවා.
උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් විශ්‍රාමික ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය මහතා විසින්.
සර්ව ආගමික වතාවත්වලින් පසු දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පැවැත්වූ අතර අනතුරුව ජනාධිපතිවරයා ප්රමුඛ සම්භාවනීය අමුත්තන් සහ සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයන් යුද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වුවා.