Monday, May 6, 2024

General line - 0115112241

පසුගිය වසරේ පොල්ගෙඩි මිලියන 180ක් වනසතුන් කා දමයි




රිළවුන්, දඩුලේන්නුන් හා වඳුරන් පසුගිය වසරේදී පොල් ගෙඩි මිලියන 180 ත් 200ත් අතර ප්‍රමාණයක් වනසා තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් මෙරට ගොවිජන හා වනසත්ව ගැටුම සම්බන්ධව සිදුකළ අධ්‍යනයකදී ඒ බව අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව 2022 වසරේ ජනවාරි සිට ජුනි දක්වා මාස හයක් තුළ වනසත්ව හානි හේතුවෙන් වැඩිම අස්වැන්න හානියක් සිදු ව තිබෙන්නේ  පොල් වගාවටයි. මාස හයක් තුළ වඳුරන්, රිළවුන් හා දඬුලේනුන් විසින් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බවත් 2022 වසර අවසන් වන විට එම තත්ත්වය පොල් ගෙඩි මිලියන 180-200 දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම ආයතනය පෙන්වා දී තිබෙනවා.

පොල් වගාවට රිළවුන්ගෙන් හානි සිදුවු ගොවිජන සංවර්ධන බල ප්‍රදේශ ගණන  200ක්.  දඬුලේනුන්ගෙන් හානි සිදු වු ගොවි ජන සංවර්ධන බල ප්‍රදේශ ගණන 180ක් හා වඳුරන්ගෙන් හානි සිදු වූ ගොවි ජනබල ප්‍රදේශ ගණන 50ක් ලෙසත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු  පර්යේෂණ හා පුහුණු ආයතනය සිදු කළ අධ්‍යනයේදී අනාවරණ වි තිබෙනවා. 

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක පොල් වගා හානි බලපෑම් සිදුව ඇති භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් 57,815ක්.  එම ප්‍රදේශයන් හි පොල් වගා කර ඇති සමස්ත ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් දෙලක්ෂ 75,540ක් වන අතර ඉන් ප්‍රතිශතයක් ලෙස සියයට 21ක් වනසත්ව හානියට ලක්ව ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු  පර්යේෂණ හා පුහුණු ආයතනය පෙන්වා දෙන්නේ.

හානියට පත් පොල් ගෙඩි ප්‍රමාණය අනුව ගත් කළ හෙක්ටෙයාර් එකකට පොල්ගෙඩි 1600ත් 2000ත් අතර ප්‍රමාණයක් වනසතුන් විසින් විනාශ කර තිබෙනවා.

පොල් පර්යේෂණ ආයතනය අනුව දිවයිනේ සමස්ත පොල් වගා කර ඇති භූමි ප්‍රමාණය  හෙක්ටෙයාර් 440,640ක්. ඒ අනුව සත්ව හානි ලක්ව ඇති බවට වාර්තා වන පොල් වගා කළ භූමි ප්‍රමාණයෙන් සියයට 13යි දශම එකක් රිලවුන්, දඬුලේනුන් හා වදුරන් විසින් කා දමා විනාශ කර තිබෙනවා.