Monday, May 6, 2024

General line - 0115112241

නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි




පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයින් වන්දි ඉල්ලා ගොනු කර ඇති නඩුවල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා කොළඹ දිසා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

වින්දිතයින් විසින් ගොනුකර තිබෙන නඩු කොළඹ දිසා අධිකරණය හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදුකළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. 

මේ අතර 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීමට අදාළව වන්දි මුදල් ගෙවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියම කළා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් වන්දි ගෙවන ලෙසයි අධිකරණය නියම කළේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක්ද ගෙවිය යුතු බවටද අධිකරණය නියම කළා.