Saturday, May 18, 2024

General line - 0115112241

නිධානයකින් ලබා ගත් පුරාවස්තු සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට




නිධානයකින් ලබා ගත් බවට සැක කෙරන පුරාවස්තු විකිණීම සඳහා සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත කලුතර උතුර ප්‍රදේශයේ හෝටලයක රථ ගාලක සිදුකළ හදිසි වැටලීමකදීයි.

සැකකරුවන් සන්තකයේ තිබී විවිධ වර්ණයෙන් යුත් ගල් ඔබවන ලද කුඩා කරඬුවක්, රන් පැහැති ආභරණ 5ක් සහ ස්කෑනර් යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට සැකකෙරෙන විවිධ සංකේත හා අක්ෂර යොදා ඇති කලු ගලකට සමාන ඝන වස්තු 2ක් සහ අගල් 7ක් දිග සහ අගල් 2ක් පළල පැරණි අක්ෂර හා සංකේත කොටා ඇති සෙල්ලිපියක්ද සැකකරුවන් භාරයේ තිබී සොයාගෙන තිබෙනවා.

එම භාණ්ඩ රුපියල් කෝටි 3ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. එම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සෞඛ්‍ය හේතූන් මත යුධ හමුදාවෙන් විශ්‍රාම ගැන්වූ සෙබලෙකු බවද අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කලුතර උතුර පොලිසිය හා පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.