Saturday, December 21, 2024

General line - 0115112241

රටම වෙළාගත් LTTE පරාජය කර අදට වසර 15 යි




එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්‍රහණයට අදට වසර 15ක් සපිරෙනවා.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ නායකයින් මියයාමත් සමග වසර 30ක් පුරා රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා.

ඒ, දරුණුතම යුද ගැටුම් පැවැති අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාව ද ආරක්ෂා වන ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්.

පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් ද එවක රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොනිමි මෙහෙවරක් ඉටු කළා. 

ජීවිත පරදුවට තබා රණවිරුවන් දිනා දුන් ඒ නිදහස ලක්වැසියන්ට අමතක කළ නොහැකියි.

මේ, යුද ජයග්‍රහණය පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා. 

යුද බිමේ සටන් පැවතියද එල් ටී ටී ඊ සාමාජිකයින් 12,000කට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය කිරීමටද කටයුතු කළ බවයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

ඒ, බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අසලදීයි. 

මේ අතර 15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකු මීළඟ නිලයට උසස් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම උසස් කිරීම් සිදු කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.