Thursday, May 9, 2024

General line - 0115112241

ජල, විදුලි, ඛණිජතෙල්, සෞඛ්‍ය සහ විශ්ව විද්‍යාල ඇතුළු සේවා රැසක් අද අඩාල වන ලකුණු




රජයේ නව බදු සංශෝධනයට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති රැසක් අද දින වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පැය 24 ක සංඛේත වැඩ වර්ජනයක් අද දිනයේ ක්‍රියාත්මක කිරීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

උදෑසන 8 ට ආරම්භ වන මෙම සංඛේත වැඩ වර්ජනය හෙට උදෑසන 8 දක්වා ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවා. වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද අද පෙරවරුවේ සිට පැය 24 ක සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. එම සංගමයේ සභාපති මහාචාර්ය ශාම බන්නැහැක පැවසුවේ මෙරට කිසිදු රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතු අද දින  සිදු නොවන බවයි.

මේ අතර බදු සංශෝධනයට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ද අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ ලේකම් ඉසුරු කස්තුරිරත්න.

නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් ද අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ.

වරාය අධිකාරියේ සේවකයින් ද අද දිනයේදී අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වරාය පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න පැවසුවා. 

මේ අතර අද පස්වරු 02 ට කොළඹ හයිඩ් පිටියේදී ආරම්භ වන වෘත්තීයවේදීන්ගේ විරෝධතා රැළිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මෙලෙස අදහස් පළ කළා.