Friday, May 10, 2024

General line - 0115112241

විග්නේෂ්වරන්ගේ ෆෙඩරල් ඉල්ලීමට එරෙහිව මහ සඟරුවන නැගී සිටී




කෙසේ හෝ ෆෙඩරල් දේශපාලන විසදුමක් දිනා ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් සිදුකළ ප්‍රකාශය හෙළා දකින බව මහා සංඝරත්නය පවසනවා. එම ප්‍රකාශයට එරෙහිව ඉදිරියේදී මහා සංඝරත්නය නිසි පිළිතුරක් ලබාදෙන බවයි මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පැවසුවේ.

රට තුළ මතුවූ දේශපාලන අර්බුදවල වාසි අත්කර ගැනීමට අවස්ථාවාදී දෙමළ දේශපාලඥයින් පිරිසක් උත්සහ දරමින් සිටින බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ.

අන්තවාදීන්ගේ බලාපොරොත්තු ඉටුවීමට ඉඩ නොතබන බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ඊයේ පැවසුවේ ඒකීය රටක් තුළ සෑම විටම බහුතර සිංහල ජනතාවගේ අදහස් පමණක් ආණ්ඩුවෙන් ඉෂ්ට කරන බවයි. 13 වන සංශෝධනය ගෙනඒම යහපත් නමුත් එයින් තමන්ගේ ප්‍රශ්නවලට විසදුම් නොලැබෙන බවත්, ෆෙඩරල් ක්‍රමය ලබාගෙන මිස ආපසු නොහැරෙන බවත් ඔහු පැවසුවා.