Friday, May 10, 2024

General line - 0115112241

ගොවීන් සඳහා ලබාදුන් මිලියන 1,300 ක් ආපසු එයි




වැරදි ගිණුම් අංක ලබාදීම හේතුවෙන් ගොවීන්ගේ ගිණුම්වලට බැර කරන ලද රුපියල් මිලිය 1,300 ක මුදලක් එම ගිණුම්වලට බැර නොවී නැවත ලැබී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ මෙම මුදල ලබාදුන්නේ නැවත අයනොකරන මුදලක් ලෙසයි.

මෙවර මහ කන්නයේදී හෙක්ටයාරයකට රුපියල් දස දහසක් හා හෙක්ටයාර දෙකකට රුපියල් 20,000 ක් වශයෙන් රුපියල් බිලියට 8 ක මුදලක් ගොවි පවුල් ලක්ෂ 12 ක් අතරේ බෙදා හැරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා. එම මුදල් බැර කිරීමේදී නිවැරදි ගිණුම් අංක ලබානොදුන් ගෙවීන් පිරිසකගේ ගිණුම්වලට බැර කළ රුපියල් මිලියන 1,300 ක මුදලක් එලෙස ආපසු ලැබී ඇති බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ගොවිජනතාව වෙත ලබාදෙන ලද රුපියල් බිලියන 8 න් මේ වන විට රුපියල් බිලියන 6 යි දශම 5 ක් ගොවි ගිණුම්වලට බැර කර තිබෙනවා. ඒ අනුව තවත් රුපියල් බිලියන 1 යි දශම 5 ක මුදලක් ගොවි ගිණුම්ගත කිරීමේ කටයුතු මේ දිනවල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන බවයි කෘෂි කර්ම දෙපාර්තමේන්තුව පැවසුවේ.