Friday, May 10, 2024

General line - 0115112241

පාකිස්තානයේ ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්




පාකිස්තානයේ පළාත් 02 ක මැතිවරණය දින 90 ක් ඇතුළත පැවැත්වීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ පන්ජාබ් සහ කයිබර් පක්තුන්ක්වාහි පළාත් මැතිවරණය සම්බන්ධයෙන් එලෙස නියෝග නිකුත් කර ඇති බවයි.

අගවිනිසුරු උමාර් අටා බන්ඩියල් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී ඇතැයි ද විදෙස් විදෙස් මාධ්‍ය පවසනවා.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කැපී පෙනෙන ලක්ෂණයක් බවත්, පාර්ලිමේන්තුව හෝ පළාත් සභා නොමැතිව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතිය නොහැකි බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබෙනවා.

පළාත් දෙකෙහි පළාත් සභා පාලනය කරනු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂය විසින්. ඉක්මන් මැතිවරණයක් ඉල්ලා එම පළාත් සභා දෙක විසුරුවා හරින්නැයි ඉම්රාන් ඛාන් ජනවාරි මාසයේදී පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් කළා.

පකිස්ථානය සාම්ප්‍රදායිකව පළාත් සහ ජාතික මැතිවරණ එකට පවත්වනු ලබනවා. මෙම වසරේ ඔක්තෝබර් මාසය වන විට එරට මහ මැතිවරණය ද පැවැත්වීමට නියමිතයි. පකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එරට පළාත් සභාවක් විසුරුවා හැරීමෙන් පසු දින 90ක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.